බහුවිධ මාධ්‍ය නියාමනයට ආණ්ඩුවෙන් නව ආයතනයක්

ජනමාධ්‍ය සමාජය විසින් අහෝසි කළ යුතු යැයි දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කරනු ලබන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට හෝ එය පදනම වශයෙන් තබා ගනිමින් බහුවිධ මාධ්‍ය නියාමනයට හැකිවන පරිදි නව මාධ්‍ය නියාමන ආයතනයක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ආණ්ඩුවේ එම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 14 දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයට පැමිණෙන ලෙස ජනමාධ්‍ය සංවිධාන හා ආයතනවලට එම අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් දැනුම් දීමක් සිදුකර ඇත.

එම දැනුම් දීමේ සඳහන් කර ඇත්තේ රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචන වාර්තාවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙනුවට හෝ එය පදනම වශයෙන් තබා ගනිමින් වර්තමාන සන්දර්භය තුළ ක්‍රියාත්මක වන බහුවිධ සන්නිවේදන මාධ්‍ය නියාමනයට හැකියාව සහිත ‘ශ්‍රී ලංකා ජනමාධ්‍ය මණ්ඩලය’ නමින් ආයතනයක් පිහිටුවීමට නිර්දේශ ලබාදී ඇති බවයි.

එම වාර්තාවට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය මත පදනම්ව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගත අභිවර්ධනය සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය හා ආයතනික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කර ඇති බවද එහි සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගත අවශ්‍යතා හඳුනා ගනිමින්, වෘත්තීයභාවය, වගකීම් සහගත මාධ්‍ය භාවිතය, ඩිජිටල් පරිවර්තනය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය සහ මහජන විශ්වාශය ශක්තිමත් කිරීම සඳහා සුදුසු ප්‍රතිප්‍රත්තිමය හා ආයතනික යාන්ත්‍රණය හඳුනා ගැනීම මෙම සාකච්ඡාවට අදාළ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ බවද එහි සඳහන් කරයි.

Author

Related Posts