රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
වී ගොවියාගේ අස්වැන්නට නියම මිලක් නොලැබීම සහ කෘෂිකර්මාන්තයට එල්ල වන බලපෑම්වලට එරෙහිව පසුගිය 10 වන දින අම්බලන්තොට නගරයේදී පැවති විරෝධතාවය සම්බන්ධයෙන් රිදියගම ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (අගෝස්තු 11) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කරනු ලැබීය.
එම විරෝධතාවය කඩාකප්පල් කිරීමට කණ්ඩායමක් යෙදවීම සහ පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් මගින් එය දේශපාලනික ස්වරූපයකින් වාර්තා කිරීම පිළිබඳව එහිදී දැඩි විරෝධය පළ කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ රිදියගම ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ ලේකම් ජයරත්න බණ්ඩාර මහතා කියා සිටියේ, පසුගිය 10 වන දින පවත්වනු ලැබුවේ ගොවියාට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට කරුණු පෙන්වාදීමේ සාර්ථක විරෝධතාවයක් වුවත්, එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් එය දේශපාලනීකරණය කර පෙන්වූ බවයි.
දේශපාලන බේදයකින් තොරව ගොවීන් ලෙස සිදුකළ මෙම විරෝධතාවය විවිධ පුද්ගලයන් විසින් වෙනත් මුහුණුවරකින් ප්‍රවෘත්ති වාර්තා කිරීම පිළිබඳව තම අප්‍රසාදය පළ කරන බව ඔහු පැවසීය.
එමෙන්ම, රිදියගම ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාරයේ ලේකම් ප්‍රසාද් විජේරත්න මහතා සඳහන් කළේ, තමන් සැබෑ ගොවියෙකු සහ ගොවි සංවිධාන නායකයෙකු ලෙස කටයුතු කරන පසුබිමක, දේශපාලන පක්ෂ නියෝජිතයන් ලෙස හුවාදක්වමින් ඇතැම් මාධ්‍ය සිදුකළ වාර්තා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බවයි.
තමන් නියෝජනය කළේ සමස්ත ගොවි ජනතාව බවත්, මෙම ගොවි ව්‍යාපාරය දීර්ඝ කාලයක සිට පැවත එන්නක් බවත් ඔහු අවධාරණය කළේය.
සංවිධානයේ උපසභාපති ලෙස්ලි ජයසේකර මහතා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ගොවි සංවිධානයක් ලෙස බලාපොරොත්තු වූයේ ගොවීන්ට සාධාරණයක් ඉටු කර ගැනීම වුවත්, මාධ්‍ය විසින් එය දේශපාලනීකරණය කිරීම නිසා විරෝධතාවයේ සැබෑ අරමුණ යටපත් වී ඇති බවයි.
ගොවීන්ට අපහසුතා ඇති කරමින් සහ විරෝධතා මර්දනය කිරීමට උත්සාහ නොකරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
