ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිලිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක් අද (අගෝස්තු 11) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
වී මිලදී ගැනීමේ ගැටළු සහ ඹඩපන ණය (සහනදායී පොලී ණය යෝජනා ක්‍රමයකි) ක්‍රමවේදය තුළ බැංකු සමඟ ගනුදෙනු කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මඟින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද මෙහිදී ඔවුන් යෝජනා කර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කර ඇත්තේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බවයි.
ඒ අනුව වී කිලෝවක් සඳහා රු. 120 ක අවම මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බවත්, එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4,000 ක් විය යුතු බවත්, මිලදී ගන්නා වී තොග පිළිබඳ සහ අදාළ ගොවීන් පිළිබඳ නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය බවත්, එම වාර්තා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
දැනට ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, සහල් අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් රජය වෙත නැවත ගෙවිය යුතු බවත්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන මෝල් හිමියන්ට ඉදිරි කන්නවලදී මෙවැනි සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.
