දිවයින වටා වන මුහුදු තීරයේ තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (11) දහවල් 12.00 ට නිකුත් කරන ලද මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (12) දහවල් 12.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව නිරීක්ෂණය කර ඇත.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය සූදානමින් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර, සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීමට සහ කළමනාකරණය කර ගැනීම සඳහා මෙම නිවේදනය අනුව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අඛණ්ඩව විමසිලිමත් වන ලෙසත්, මෙම ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙසත්, වැඩිදුර තාක්ෂණික උපදෙස් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.
