අවුරුදු 50ට අඩු විදෙස්ගත තරුණයින්ට රජයෙන් ඉඩම්! කැබිනට් තීන්දුව මෙන්න!

රජය සතු ඌන උපයෝජිත ඉඩම් තරුණ ව්‍යවසායකයින්ට සහ ආයෝජකයින්ට දිගුකාලීන බදු පදනම යටතේ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

විදේශ රැකියාවල නිරත වෙමින් මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කළ හෝ දැනට ප්‍රේෂණය කරන තරුණ ව්‍යවසායකයින්ට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ සඳහා යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීමට පසුගිය 2026 ජනවාරි 12 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අනුමැතිය හිමිව තිබූ අතර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මීට අදාළ ක්‍රමවේදයක් මේ වන විට සකස් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු හෙක්ටයාර 117ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හෙක්ටයාර 88ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමට අයත් හෙක්ටයාර 42ක් වශයෙන් සම්පූර්ණ ඌන උපයෝජිත ඉඩම් හෙක්ටයාර 247ක් මෙලෙස දිගුකාලීන බදු පදනම මත ලබාදීමට නියමිතය.

මෙම ඉඩම් කොටස් ලබාදීම සඳහා රජය විසින් නිශ්චිත නිර්ණායක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.

මෙම ඉඩම් ලබාගන්නා ආයෝජකයෙකුගේ උපරිම වයස අවුරුදු 50ක් විය යුතු බව රජය පවසයි.

එමෙන්ම පසුගිය වසර 10ක කාලය තුළ වසර 03ක් හෝ ඊට වැඩි කාලයක් විදෙස්ගත රැකියාවක නිරතව සිටි හෝ මේ වන විටත් වසර 03කට වැඩි කාලයක් විදේශ ශ්‍රමිකයෙකු ලෙස සේවයේ නියුතු පුද්ගලයන් සඳහා මෙම වැඩසටහන යටතේ ප්‍රමුඛතාව හිමිවනු ඇත.

විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා තෝරාගන්නා එක් ආයෝජකයෙකු සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 1ත් 4ත් අතර ඌන උපයෝජිත ඉඩම් ප්‍රමාණයක් මෙලෙස දිගුකාලීන බදු පදනම මත ලබාදීමට නියමිතය.

එමෙන්ම අදාළ ඉඩම් ලබාගන්නා ආයෝජකයින්ට වැවිලි සහ කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල සහ සූර්ය බලශක්ති උත්පාදනය මෙන්ම කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සඳහා ඒවායේ ආයෝජනය කිරීමට අවස්ථාව හිමි වේ. ඊට අමතරව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු සඳහා ද මෙම ඉඩම් යොදාගත හැකි බව රජය පෙන්වා දෙයි.

මෙම ඉඩම් බැහැර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී තිබේ.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading