මීගමුව බන්ධනාගාර ගැටුමේ 32 වන සැකකරුත් නම් කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් ඇතුළු ‍රැදවියන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (අගෝස්තු 11) අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව එම සැකකරු නඩුවේ අංක 32 වැනි සැකකරු ලෙස නම් කළේය.

එම සිද්ධිය වන අවස්ථාවේ දී සැකකරු බන්ධනාගාරය තුළ සිටි ඇති අතර පසුව ඇප ලබා නිවසට පිටව ගොස් තිබුණි. එබැවින් එම සැකකරු සැඟව සිටි බවත් විමර්ශන සිදු කර අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේය.

අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරැ සම්බන්ධයෙන් මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා අගෝස්තු 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් මේ වන විට හදුනාගත් සැකකරුවන් 62ක් අතරින් 38 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක හේතු මත එම සැකකරුවන් ගේ නම් විවෘත අධිකරණයට ඉදිරිපත් නොකළ අතර නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්‍රාත්වරියේ නිල මැදිරියේ දී ඉදිරිපත් කළේය.

Author

Related Posts