රු. 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අගෝස්තු 10 දින අත්අඩංගුවට ගෙන තිබේ.
ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ක්‍රීඩා පිටියක කාණු පද්ධතිය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සහ අම්පාර දිස්ත්‍රික් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් අක්කරපත්තු නගරයේ වෙළඳ සැලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවකට අදාළ රැඳවුම් මුදල් නිදහස් කරගැනීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම වෙනුවෙන් සැකකරු මෙලෙස අල්ලස් ඉල්ලා ඇත.
ඒ අනුව ඔහු අදාළ පුද්ගලයාගෙන් එක් කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් 20,000 බැගින් කොන්ත්‍රාත් දෙක සඳහා රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ.
ඊට අමතරව සැකකරු විසින් එම පුද්ගලයාගෙන් ණය මුදලක් ලෙස රුපියල් 100,000ක මුදලක් ඉල්ලා ඒ වෙනුවෙන් රුපියල් 100,000ක් වටිනා චෙක් පතක්ද ලබාගෙන ඇත.
තම්බිඅප්පා අරුලාලන්දම් යන මෙම පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානයේදී සිදුකළ වැටලීමකදී විමර්ශන නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සැකකරු අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
