ළමා ආරක්ෂාවට හානි කළැයි Facebook හිමි Meta සමාගමට ඩොලර් මිලියන 567ක් දඩ

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට තීරණය කරමින් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් Meta සමාගමට ඩොලර් මිලියන 567ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

2023 වසරේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුවෙන් චෝදනා කර තිබුණේ Facebook, Instagram, WhatsApp සහ Threads ඇතුළු Meta සමාගමට අයත් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල නිර්දේශන මගින් බාලවයස්කරුවන්ට හානිකර අන්තර්ගත සහ ලිංගික අපරාධකරුවන් සමඟ සම්බන්ධතා ඇති වීමට ඉඩ සැලසූ බවයි. කෙසේ වෙතත්, Meta සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම තීන්දුවට එකඟ නොවන බවත්, එය අභියාචනයකට ලක් කරන බවත්ය.

එම නියෝගයට අනුව, මෙම දඩ මුදලින් ඩොලර් මිලියන 420ක් දරුවන්ට සිදුව ඇති මානසික හානි සඳහා ප්‍රතිකාර සහ මනෝසෞඛ්‍ය වැඩසටහන් සඳහා වෙන් කෙරෙන අතර, ඉතිරි මුදල් දැනුවත් කිරීමේ සහ වැළැක්වීමේ වැඩසටහන් සඳහා යොදා ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

මූල්‍ය දඩ මුදල්වලට අමතරව, වයස අවුරුදු 18ට අඩු බාලවයස්කරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙටා ආයතනය දැඩි කොන්දේසි මාලාවකට ද මෙමඟින් යටත් කර තිබේ.

මෙම නඩු විභාගයේ මුල් අදියර යටතේ Meta සමාගමට මීට පෙර ඩොලර් මිලියන 375ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර තිබූ අතර, ඉන්පසුව පැවති දෙවන අදියරේදී මෙම ඩොලර් මිලියන 567ක අතිරේක වන්දි මුදලක් නියෝග කිරීමත් සමඟ, එම සමාගම ගෙවිය යුතු මුළු මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading