වත්මන් ආණ්ඩුව විසින් සිදුකිරීමට යෝජනා කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට දැරීමට යන උත්සාහය, අධිකරණ පද්ධතියේ පවතින ගැටලූ විසඳීමට නොව අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කරගැනීමේ අරමුණින් සිදුකරන්නක් බව YOUTH FOR CHEnge සංවිධානයේ සංවිධායක ලේකම් ලහිරු වීරසේකර ප්‍රකාශ කර සිටියි.
ඊයේ (5) පැවැති රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ ඔහු අවධාරණය කළේ, රජය විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්ක සත්‍ය කරුණුවලින් තොර, මහජනතාව මුලා කරන ප්‍රකාශ බවයි.
“මේ ආණ්ඩුව ගේන පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය. අඩුම තරමේ ඒක ගේන හරි හේතුව කියන්න ඕනේ. 1978 ව්‍යවස්ථාවේ තියෙන එක මෙච්චර කාලයක් වෙනස් වෙලා නැති හින්දා ගේනවා කියනවා, මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙන හින්දා ගේනවා කියනවා, නඩු ගොඩ වැඩි වෙලා තියෙන හින්දා ගේනවා කියනවා. එක්කෝ මේ කාරණය ඇත්ත කියලා, මේ පුද්ගලයෙක්ගේ ධුර කාලය වැඩි කිරීමට හේතුව මෙන්න මේකයි කියලා කෙලින්ම ගෙනාවා නම් ඒක අවංක ප්‍රකාශයක්,” යැයි ලහිරු වීරසේකර පැවසීය.
ලංකාවේ දැනට පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණය ගොඩගැසීමට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස නොවන බව පෙන්වා දුන් ළහිරු වීරසේකර, ඊට සැබෑ හේතුව පරිපාලනමය හා පටිපාටිමය ප්‍රමාදයන් බව ප්‍රකාශ කර සිටියේය.
කොටුව, අලුත්කඩේ සහ අනුරාධපුර යන අධිකරණවල පවතින නඩු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, 2015 වසරේ සිට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් තෙක් යොමුකර ඇති නඩුවලට තවමත් උපදෙස් ලැබී නොමැති බවයි. විශේෂයෙන්ම, 2023 ජනවාරි මාසයේදී ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සම්බන්ධ අරගලයේ නඩුවකට අදාළව නීතිපති උපදෙස් පතා යොමු කළද, අද වන තෙක් ඊට උපදෙස් ලැබී නොමැති බව ඔහු අනාවරණය කළේය.
නඩු ප්‍රමාදවන ප්‍රධානම ක්ෂේත්‍රයක් ලෙස මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ නඩු පෙන්වා දුන් හේ, රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා සැකකරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බව පැවසීය.
මෙම සංශෝධනය හරහා ප්‍රධාන වශයෙන්ම අගවිනිසුරුවරයාගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ බරපතල තත්ත්වයක් පවතින බව ලහිරු වීරසේකර පෙන්වා දුන්නේය.
අගවිනිසුරුවරයා යනු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වන අතර, විනිශ්චය මඩුලු පත්කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිත්වය දැරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පනත් අර්ථකථනය කිරීම, විනිසුරුවරුන් පත්කිරීම හා විනය පාලනය මෙන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමේ සමස්ත ක්‍රියාවලියේම මූලිකයා වේ. එවැනි බලතල සහිත තනතුරක වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා මෙවැනි උපක්‍රමශීලී සංශෝධන ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අවසාන වශයෙන් අදහස් දැක්වූ ලහිරු වීරසේකර කියා සිටියේ, පවතින නඩු ප්‍රමාදය හෝ බන්ධනාගාර තදබදය විසඳීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අරමුණ නොවන බවත්, මෙය ජනවරම ඉෂ්ට කිරීමක් නොව වෙනත් දේශපාලන උවමනාවක් ඉටුකර ගැනීම සඳහා ගෙන එන ලද වංචනික ප්‍රයත්නයක් බවත්ය.
