EPF අරමුදල බිස්නස්කාරයන්ගේ අතට පත්කිරීමේ බරපතල අවදානමක් තියෙනවා – අශිලා දන්දෙණිය

සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) එකමුතු කර තෛපාර්ශ්වික පාලන ව්‍යුහයක් යටතට ගෙන ඒමේ ප්‍රායෝගික ශක්‍යතාව අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයත් සමඟ පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් අතර දැඩි කැළඹීමක් හටගෙන තිබේ.

මෙම තත්ත්වය හමුවේ සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකු පාලනයෙන් ඉවත් කිරීමට ගන්නා උත්සාහයට සහ රජය ගනිමින් සිටින තීන්දු වලට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ස්ටෑන්ඩ් අප් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අශිලා දන්දෙණිය අවධාරණය කළේ අදාළ කැබිනට් යෝජනාව ඉදිරිපත් වූ දින සිට මේ දක්වා වෘත්තීය සමිති විසින් නිශ්චිත තොරතුරු සහ සාකච්ඡා ඉල්ලා සිටියද, ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

අරමුදලේ නියම අයිතිකරුවන් වන වැඩකරන ජනතාවගේ හෝ වෘත්තීය සමිතිවල අදහස් විමසීමට පෙර, පාලක පාර්ශ්වය සහ ආයෝජකයන් විසින් මාර්ගෝපදේශ නිකුත් කිරීමට දක්වන දැඩි උනන්දුව පිළිබඳව ඇය විමසා සිටියාය. ලක්ෂ 25කට ආසන්න සේවක සංඛ්‍යාවකගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද රැඳී ඇති මෙම අරමුදලට සිදුවීමට යන දේ පිළිබඳව බරපතල සැකයක් මතු වී ඇති බවද ඇය සඳහන් කළාය.

“අපි මෙම අරමුදල පැහැදිලිවම අපි දකිනවා මේක බිස්නස්කාරයන්ගේ අතට පත්කිරීමේ බරපතල අවදානමක් මේ ක්‍රියාවලිය තුළ තියෙන බව. ඒක නිසා මූලික වශයෙන් මෙම මුදල මහා බැංකුවෙන් ගැලවීම සම්බන්ධව අපි තදින්ම විරුද්ධ වෙනවා. ඒ වගේම මේ ත්‍රෛපාර්ශ්වික ක්‍රමය සම්බන්ධවත් අපට බරපතල ගැටලු පවතිනවා.”

“රුපියල් බිලියන 637කට ආසන්න මුදලක් පාලනය වන සේවක භාරකාර අරමුදලේ (ETF) දැනට පවතින ත්‍රෛපාර්ශ්වික පාලන ක්‍රමවේදයම අසාර්ථක වී ඇති තත්ත්වයක, රුපියල් ට්‍රිලියන 4.9කට ආසන්න අතිවිශාල EPF අරමුදලක් එවැනිම ව්‍යුහයකට යටත් කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකියි” යනුවෙන් අශිලා දන්දෙණිය වැඩිදුරටත් පැවසුවාය.

අතීතයේදීද EPF අරමුදලට හානිකර වන අයුරින් රජය විසින් ගැනීමට තැත් කළ සියලුම නරක තීරණ සේවකයන්ගේ මැදිහත්වීම මත පරාජය කළ බව මතක් කර දුන් ඇය, ඉදිරියේදී සමස්ත සේවක ප්‍රජාව මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළාය.

එමෙන්ම, සේවකයන්ගේ අයිතිවාසිකම්වලට හානි කරන මෙම වැඩපිළිවෙල වහාම හකුලා ගන්නා ලෙසත්, EPF අරමුදලට අත තැබීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ස්ටෑන්ඩ් අප් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අශිලා දන්දෙණිය විසින් රජයට අනතුරු අඟවා සිටියාය.

Author

Related Posts