මහජනතාව විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධ අවකාශයේ භාවිත කිරීම අවහිර කෙරෙන පරිදි ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධන පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හරහා හඳුන්වා දුන් වඩාත්ම වැදගත් විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ ප්‍රතිසංස්කරණය වන්නේ වත්කම්-බැරකම් ප්‍රකාශන සඳහා මහජනයාට ඇති ප්රවේශයයි. එම ප්‍රවේශය දුර්වල කිරීම හරහා රටේ දූෂණ විරෝධී ක්‍රියාවලිය ආපසු හැරවීමේ අවදානමක් පවතින බව TISL විසින් අද දින (5) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ස්වකීය වත්කම්, බැරකම් සහ මූල්‍යමය හිමිකම් හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම යනු හෙළිදරව් නොකළ වත්කම්, බැඳියාවන් අතර ගැටුම් සහ දූෂණයෙන් උපයාගත් වත්කම් සැඟවීමට එරෙහි ප්‍රධාන ආරක්ෂණ ක්රමවේදයකි.
දූෂණ විරෝධී පනත යටතේ, මෙම වත්කම්-බැරකම් ප්‍රකාශන පරිපාලනය කිරීමේ සහ සංවේදී තොරතුරු වසන් කරන ලද (සංස්කරණය කළ) පිටපත් මහජනතාව වෙත ලබා දීමේ මධ්‍යම බලධාරියා ලෙස කටයුතු කරන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි (CIABOC).
වත්කම් ප්‍රකාශන මහජන අධීක්ෂණයට විවෘත කිරීම මඟින් නිලධාරීන් ප්‍රකාශ කර ඇති වත්කම් සහ බැරකම්වල පවතින වෙනස්කම් හා පරස්පරතා හඳුනාගැනීමටත්, බලය භාවිත කිරීමේදී සිදුවිය හැකි අනිසි බලපෑම් සහ බැඳියාවන් අතර ගැටුම් හෙළිදරව් කරගැනීමටත් මාධ්‍යවේදීන්ට, සිවිල් සමාජයට, විද්වතුන්ට මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ටද හැකියාව හිමිවේ.
එසේම, රාජ්‍ය නිලධාරීන් උපයාගෙන ඇති වත්කම් ඔවුන්ගේ නීත්‍යනුකූල ආදායමට ගැළපේදැයි ප්‍රශ්න කිරීමේ අයිතියද මෙයින් තහවුරු කෙරේ. එබැවින් මෙවැනි සක්‍රීය මහජන අධීක්ෂණයකින් තොරව හුදෙක් වත්කම්-බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ ක්‍රියාවලියක් පමණක් පවත්වාගෙන යාම යනු, වගවීම උදෙසා වන සඵලදායී මෙවලමක් පවත්වාගන්නවා වෙනුවට නාමමාත්රික පරිපාලනමය ක්‍රියාවලියක් පමණක් පවත්වාගෙන යාමක් බව සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
එබැවින් ට්‍රාස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය රජයෙන් ඉල්ලා සිටින්නේ:
- වත්කම් බැරකම් ප්රකාශනය නීත්‍යනුකූල මහජන හිතකාමී භාවිතය සම්බන්ධයෙන් පැනවීමට යෝජිත සීමා සහ අපරාධමය වරද ඉවත් කරන ලෙසත්;
- වත්කම් – බැරකම් ප්‍රකාශකයා සමඟ එකට ජීවත් වන සහ අන්‍යෝන්‍ය අයිතිවාසිකම් හා වගකීම් බෙදා හදා ගන්නා තැනැත්තන්ගේ පෞද්ගලික තොරතුරු මහජනයාට හෙළිදරව් වීමෙන් ආරක්ෂා කරන අතරම, ඔවුන්ට අදාළ තොරතුරු හෙළි දරව් කිරීමේ අවශ්‍යතාව ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙසත්; සහ
- රඳවා තබා ගත යුතු තොරතුරු මොනවාදැයි තීරණය කිරීමට මධ්‍යම බලධාරියා වෙත පුළුල් බලයක් පැවරීම වෙනුවට, සංස්කරණය කළ හැකි ( වසන් කළ හැකි) තොරතුරු මොනවාද යන්න නීතියෙන් පැහැදිලිව සහ පටු ලෙස නිර්වචනය කරන ලෙසත්ය.
