මීගමුවේ සිදුවීම්වලට සම්බන්ධ සියලුදෙනාට නඩු දානවා – නලින්ද

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස පවතින කුමන්ත්‍රණය සහ ඊට සම්බන්ධ වූවන් අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් හතක් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ම්ලේච්ඡ සහ අමානුෂික ප්‍රහාරයන්ට කුමන්ත්‍රණය කළ සහ ඊට සෘජුවම සහභාගී වූ සියලුම පුද්ගලයන් කඩිනමින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔහු එහිදී පැවසූහ.

මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැගෙන ගිය රැඳවියන්ට අමානුෂික ලෙස පහර දෙන බවටත් ඒ හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු මියගොස් ඇති බවටත් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද මාධ්‍යවේදින් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් නලින්ද ජයතිස්ස මහතා පෙන්වාදුන්නා.

ඔහු පවසන්නේ, මෙම ගැටුම සිදුවීමට සති දෙකකට පෙර රෝගාතුර වීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ මරණය ඇතැම් කණ්ඩායම් විසින් රට සහ ජාත්‍යන්තරය ඉදිරියේ රජයේ ප්‍රතිරූපය පළුදු කිරීම සඳහා අසත්‍ය ලෙස ප්‍රචාරය කරන බවයි.

බන්ධනාගාරගතව සිටින ඕනෑම රැඳවියෙකු අසනීප වුවහොත් වහාම බන්ධනාගාර වෛද්‍යවරුන් ලවා හෝ ළඟම ඇති ජාතික රෝහල ඇතුළු රෝහල් වෙත යොමු කර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය..

කෙසේවෙතත් විමර්ශනවල වත්මන් තත්වය පිළිබඳව පැවසූ නලින්ඩ්ජ ජයතිස්ස අමාත්‍යවරයා, මේ වන විට රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු 200 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ප්‍රකාශ කළේය.

ගැටුම සිදු වූ අවස්ථාවේදී බන්ධනාගාරයේ සීසීටීවී පද්ධතියට හානි කර තිබුණද එහි ඩීවීආර් යන්ත්‍ර සුරක්ෂිතව පවතින බැවින් විමර්ශන කටයුතු සාර්ථකව මෙහෙයවීමට බාධාවක් නොවන බවත් ගැටුමේදී කැරලිකරුවන් ළඟ තිබූ සියලුම ආයුධ දැනටමත් සොයාගෙන ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කර අවසන් බවත් රාත්‍රියේදී මියගිය බන්ධනාගාර නිලධාරියාගේ සහ ඉන්දීය ජාතිකයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා හැරුණු කොට අනෙක් සියලුම වාර්තා ලැබී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිල වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත බවද සඳහන් කළේය.

මෙම තත්ත්වය මීට පෙර පැවති තත්ත්වයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බව පෙන්වා දුන් නලින්ද ජයතිස්ස මහතා, පසුගිය මාස කිහිපය තුළ රට පුරා දියත් කළ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ විශේෂ වැඩසටහන හේතුවෙන් බන්ධනාගාරගත කළ රැඳවියන් ප්‍රමාණය අධික ලෙස ඉහළ ගිය බව ප්‍රකාශ කළේය.

2024 වසරේ වත්මන් රජය බලය භාරගන්නා විට 28,000ක්ව පැවති රැඳවියන් සංඛ්‍යාව, පසුව තවත් 14,000කින් පමණ ඉහළ ගොස් ඇති බවත් එලෙස රැඳවියන් සංඛ්‍යාව ඉහළ යන අතරතුරදීම බන්ධනාගාරවල පවතින තදබදය අවම කර සිරකරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීමට රජයක් ලෙස අවශ්‍ය සියලු පියවර ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading