කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට්සිටියේ ජනතාවට පොරොන්දු වූ ආර්ථික පරිවර්තනය හඳුනා ගන්නට තවමත් අපහසු බවත්, එහි පෙනෙන්නට තිබෙන වඩාත්ම දෘශ්‍යමාන ක්‍රියාකාරකම වන්නේ නාමල් රාජපක්ෂ එහි ව්‍යායාම කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් පැවසීය.
අද (ජුලි 10) පාර්ලිමේන්තුවේදී කොළඹ පෝර්ට්සිටියේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ ආණ්ඩුවට ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.
කොළඹ පෝර්ට්සිටිය පොරොන්දු වූ පරිදි ආර්ථිකයේ එංජිම බවට පත්වී නැති බවත්, එය ශ්‍රී ලාංකිකයන්ට අර්ථවත් මූල්‍ය ප්‍රතිලාභ පෙන්නුම් කිරීමට අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.
පෝර්ට්සිටියේ චීන සමාගම් ආයෝජකයින් ඇතුළු සැලකිය යුතු ආයෝජන ආකර්ෂණය කරගෙන ඇති බව රජය ප්‍රකාශ කරන්නේ නම් එම සෑම ආයෝජනයක්ම, ඒවාහි වටිනාකම, ආයෝජකයින්ගේ අනන්‍යතාවය, නිර්මාණය කරන ලද රැකියා සංඛ්‍යාව, රජයට උපයා දුන් ආදායම හා රටේ පුරවැසියන්ට ලබාදුන් සෘජු ආර්ථික ප්‍රතිලාභ පිළිබඳ පුළුල් වාර්තාවක් ප්‍රසිද්ධ කළ යුතු බවද ඔහු පැවසීය.
පෝර්ට්සිට ආර්ථික කොමිෂන් සභා සාමාජිකයින් රුපියල් මිලියන 1 සිට 1.2 දක්වා මාසික වැටුප් ලබන බව වාර්තා වන බවත්, එම වාර්තා නිවැරදි නම් එම වියදම වෙනුවෙන් රටට ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි දැන ගැනීමට මහජනයාට අයිතියක් ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
