භාණ්ඩාගාර වංචාව පසුපස අපරාධයක් තියෙනවාදැයි සොයන්න! හර්ෂගේ වාර්තාවෙන් කියයි

ඔස්ට්‍රේලියානු ආයතනයක් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ණය පියවීමේ ගනුදෙනුවේදී සයිබර් අපරාධයක් සිදුවීම සම්බන්ධයෙන් කිසියම් අභ්‍යන්තර කුමන්ත්‍රණයක් හෙවත් හවුල්කාරිත්වයක් තිබී ඇත්ද යන්න පිළිබඳ අපරාධ විමර්ශනයක් සිදුකර නීතිය බලාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළින් තීරණය කළ යුතු බව පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ නිගමනයක් වශයෙන් සඳහන් කර ඇත.


අදාළ නිලධාරීන් තම ක්‍රියාවන්හිදී හුදෙක් නොදැනුවත්කම, අදක්ෂකම සහ නොසැලකිලිමත්කම මත පමණක් ක්‍රියාකාර ඇද්ද යන්න පිළිබඳව ඒ මගින් තහවුරු වන බවද එම නිගමනය සම්බන්ධයෙන් සඳහන් කර ඇත.


එහිදී සයිබර් අපරාධවලට සම්බන්ධ වංචාවක් පැහැදිලිවම සිදුවී ඇති බවත්, ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මහජන මුදල් සොරකම් කර ඇති බවත් එහි සඳහන් කරයි.


මෙම වාර්තාව ජුලි 10 දින සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.


මහා භාණ්ඩාගාරයේ ලේකම් හා මහ බැංකුවේ අධිපති යන මට්ටම්වල සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අඩුපාඩු කිහිපයකට වගකීම දැරිය යුතු බවද, අලුතින් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත සිදුකෙරෙන මාස 18ක සංක්‍රාන්ති කාලසීමාව මෙහෙයවීම සඳහා, ඊට අදාළ යොමු නියමයන් සැපයූ පූර්ව අවබෝධතා ගිවිසුමක් තිබුණේ නම්, සංක්‍රාන්තියේ ඵලදායිතාවය පිළිබඳ වගකීම් සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාර ලේකම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා අතර ඇති වූ මතභේද වළක්වා ගැනීමට තිබුණ බව එහි සඳහන් කරයි. අවබෝධතා ගිවිසුමක් නොමැතිකම සහ මෙම සිදුවීම අතර සෘජු සම්බන්ධයක් කාරක සභාවට තහවුරු කළ නොහැකි වුවද, එවැනි ගිවිසුමක් විධිමත් කිරීම මගින් එම කාලසීමාව තුළ සම්බන්ධ වූ සියලුම නිලධාරීන්ගේ වගකීම් පැහැදිලි කර දීමටත්, එමගින් මෙම සිදුවීම වළක්වා ගැනීමටත් ඉඩ තිබූ බව කාරක සභාව විශ්වාශ කරන බවද එහි සඳහන් කරයි.


එමෙන්ම මෙම සයිබර් අපරාධ වංචාවට පෙර මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර බාහිර ණය ප්‍රතිපූරණය කිරීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉල්ලා සිටි බවද, එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් 2026 අප්‍රේල් 04 දිනැති සම අත්සන් තැබූ ලිපියක් මගින් මහා භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති යන දෙදෙනාම සම්බන්ධීකරණය සඳහා පවතින යාන්ත්‍රණයන් ප්‍රමාණවත් බවට සහතිකයක් කාරක සභාවට ලබාදුන් බවත් එහි සඳහන් වේ.


එමෙන්ම බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් කරුණු කහිපයක් සම්බන්ධයෙන් තම රාජකාරිය පැහැදිලිවම පැහැර හැර ඇති බව පෙනී යන බවද එහි සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading