සලේගේ රිට් පෙත්සමට ගු. අමරසේකර සහ බෙං. නාලක ඇතුළු පිරිසක් මැදිහත් වෙයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමට මැදිහත් වීමට, ප්‍රමුඛ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු පුද්ගලයින් සහ සංවිධාන කිහිපයක් අභියාචනාධිකරණයේ අවසරය ඉල්ලා තිබේ.

මෙම මැදිහත්වීමේ පෙත්සම් ගොනු කර ඇත්තේ ආචාර්ය ගුණදාස අමරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය දාපනේ සුමනවංශ හිමි, පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමි, ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ශකුන්තලා සෙනෙවිරත්න සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසිනි. ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දැනට විභාග වෙමින් පවතින මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තමාව ද නම් කිරීමට අවසර දෙන ලෙසයි.

යෝජිත මැදිහත්කාර පෙත්සම්කරුවන් තම පෙත්සම් මගින් පෙන්වා දෙන්නේ මේජර් ජෙනරාල් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පදනම් වී ඇත්තේ දැනටමත් නිල පරීක්ෂණවලට භාජනය වූ චෝදනා මත බවත්, එම චෝදනාවල විශ්වසනීයත්වය පිළිබඳව එම පරීක්ෂණ මගින් නිශේධනාත්මක නිගමනවලට එළඹ ඇති බවත්ය.

‘චැනල් 4’ ප්‍රවෘත්ති වාර්තාමය වැඩසටහන මත පදනම් වූ කථාවට නිල විමර්ශනවලදී විශ්වසනීයත්වයක් නොමැති බවට තහවුරු වී ඇති බවත්, අදාළ කාල සීමාව තුළ සලේ මහතා ශ්‍රී ලංකාවේ නොසිටි බව එම පරීක්ෂණ මගින් තහවුරු කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද නිල විමර්ශන කිහිපයකදීම, කිසිදු ආකාරයකින් සලේ මහතා ඊට සම්බන්ධ බවට තහවුරු වී නොමැති අතර, එහි වගකීම සහරාන් හෂීම් සහ ඔහුගේ ජාතික තව්හීත් ජමාත් / ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට සම්බන්ධ ජාලයට අඛණ්ඩව පවරා ඇති බව පෙත්සම්කරුවෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

එසේම, ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අංක SC FR 163/2019 සහ ඊට අදාළ නඩු කටයුතුවලට සලේ මහතා පාර්ශවකරුවෙකු වුවද, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව කිසිදු අහිතකර නිගමනයක් ලබා දී නොමැති බවද ඔවුහු පෙන්වා දුන්හ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading