මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරවලට ගෙන ගිය රැදෙවියන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි තහවුරු වේ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වාර්තා කළේ ජුලි 7 වැනිදා රාත්රියේ මීගමුවේ සිට රැගෙන ආ රැදෙවියෙකු වැලිකඩදී පහරකෑමට ලක් වී, බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි. මරණයට පත් වූ පුද්ගලයාගේ නම අවිශ්ක ලෙස හදුනාගෙන තිබුනි. මේ අතර වෙනත් මූලාශ්ර මගින් වාර්තා කෙරුණේ බූස්සේ සහ අගුණකොළපැලැස්සේ සිටි රැදෙවියන්ද මිය ගොස් ඇති බවයි.
මේ පිළිබද විමසීමකදී බන්ධනාගාර මාධ්ය ප්රකාශක චම්මික ගජනායක මෙසේ කීය.
‘වැලිකඩ හත්වැනි මාසයේ පළවැනිදා මීගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩට මාරුකරපු කෙනෙක්. මෙම ගැටුමෙන් පසුව ගෙනගිය කෙනෙක් නෙවෙයි. වැලිකඩ බන්ධනාගාරයේදී සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට මාරු කිරීමෙන් පස්සේ මියගිහින් තියෙනවා.
අගුණුකොළපැලැස්ස අසනීප තත්වයක් යටතේ රෝහල්ගත කළ තවත් රැදෙවියෙක් මියගිහින් තියෙනවා.
බූස්සේත් මීගමුවේ සිට රැගෙන ආ රැදෙවියෙක් මරණයට පත් වුණේ රෝහල්ගත කිරීමෙන් පසු. ඔහුව අසනීප තත්වය දැනුම් දුන්නාට පස්සේ රෝහල්ගත කළත්, අසනීප තත්වයෙන් මරණයට පත් වුණා.
බන්ධනාගාර මාරු කළ පසු මෙම රැදෙවියන්ට පහරදීම් සිදුවුණාය කියන චෝදනාව ප්රතික්ෂේප කරනවා. කැරැල්ලට සම්බන්ධ වුණ මිනිස්සුන්ගෙ ශරීරවල තුවාල තියෙනවාද කියන එක හරියටම කියන්න බැහැ. ඔවුන් එකිනෙකා ගහගත්ත ඒවා. වහලවල් කඩාවැටුණ ඒවා.‘
බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා එසේ පැවසුවද විවිධ මුලාශ්ර ගණනාවකින් වාර්තා වන්නේ මෙලෙස රැගෙන ගිය රැදෙවියන්ට දරුණු පහරදීම් බන්ධනාගාර නිලධාරීන් සිදු කර ඇති බවයි. ඒ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඍජුව චෝදනා කරයි. විශේෂයෙන්ම වැලිකඩට ගෙන ගිය රැදෙවියන් 21 දෙනෙකුට පහරදීම් කර ඇතැයි ඔවුන් චෝදනා කරයි. මෙම තත්වයට එරෙහිව ජුලි 8 වැනිදා දහවල් 12ට අධිකරණ අමාත්යාංශය ඉදිරිපිට විරෝධයක් පැවැත්වීමට නියමිතය.
