විත්තිකාර උදය ගම්මන්පිල පෑන් ඒෂියා කොටස් ජාවාරම සම්බන්ධයෙන් වූ ස්ථාවරය විටින් විට වෙනස් කරමින් 2015 වසරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට පරස්පර ප්රකාශ දී ඇති බව රජයේ අධිනීතිඥ ශක්තික ජාගොඩආරච්චි මහතා ඊයේ (01) කොළඹ මහාධිකරණය ඉදිරියේ කියා සිටියේය.
ඔස්ට්රේලියානු ජාතික ව්යාපාරිකයකුට අයත් මෙරට ප්රසිද්ධ පෞද්ගලික බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුවේ රුපියල් මිලියන 21කට වැඩි වටිනාකමකින් යුක්ත ව්යාපාර කොටස් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම සහ ඒ සඳහා කූට ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ මේ බව පෙන්වා දුනි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්තික ජාගොඩආරච්චි මහතා විසින් විත්තිකාර උදය ගම්මන්පිලගෙන් දෙවැනි දිනටත් දීර්ඝ ලෙස හරස් ප්රශ්න විමසන ලදි.
අනතුරුව රජයේ අධිනීතිඥවරයා 2015 වසරේදී විත්තිකරු දී ඇති ප්රකාශයක් සම්බන්ධයෙන් හරස් ප්රශ්න විමසන ලදි. එහිදී විත්තියේ නීතිඥයා එයට බාධා කරමින් විරෝධතාවක් ඉදිරිපත් කළේය. එහිදී උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය. මහාධිකරණ විනිසුරුවරිය චුදිතට අධිකරණ ශාලාවෙන් බැහැර වන ලෙස දන්වා ප්රශ්නගත කාරණය පිළිබඳ දෙපාර්ශ්වයේ නීතිඥයන්ගෙන් කරුණු විමසුවාය. අනතුරුව විත්තියේ විරෝධය ප්රතික්ෂේප කර විත්තිකරුගෙන් එම කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් හරස් ප්රශ්න විමසීමට අවස්ථාව දුනි.
නීතිපතිවරයා විසින් 2016 වසරේදී මෙම නඩුව පවරා ඇත්තේ දණ්ඩ නීති සංග්රහයේ 113 (අ), 102 සහ 389 යන වගන්ති යටතේ දක්වා ඇති වැරදි කිරීම සම්බන්ධයෙනි. ඔස්ට්රේලියානු ජාතික ව්යාපාරික බ්රයන් ෂෙඩික්ට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස්, ව්යාජ ඇටෝර්නි බලපත්රයක් භාවිතකර සාවද්ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.
හරස් ප්රශ්න විමසීම ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරයා, විත්තිකරු විසින් 2015 වසරේදී පොලීසියට දුන් ප්රකාශයක් පිළිබඳව අවධානය යොමු කළේය. එම ප්රකාශයේ සඳහන්ව තිබුණේ සිඩ්නි ජයසිංහ මහතාට ඇටෝර්නි බලපත්රයක් තිබූ බව විත්තිකරු නොදන්නා බවයි. කෙසේ වෙතත්, වර්තමාන සාක්ෂි විභාගයේදී විත්තිකරු ඒ පිළිබඳව හාත්පසින්ම වෙනස් තොරතුරු ලබා දෙන බව රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම පරස්පරතාව පිළිබඳව පැහැදිලි කරමින් විත්තිකරු කියා සිටියේ, 2015 වසරේදී පොලීසිය තමන්ගෙන් මුලින්ම ප්රශ්න කරන අවස්ථාව වන විට, වසර 20කට පෙර එනම් 1994 වසරේදී සිඩ්නි ජයසිංහ මහතාට එවැනි බලපත්රයක් ලබා දී තිබුණේද යන්න පිළිබඳව නිශ්චිත මතකයක් තමන්ට නොතිබූ බවයි.
පසුව තමන්ට එරෙහිව නඩුවක් පවරන බව දැනගත් විට, තමන් පැරණි ලේඛන අධ්යයනය කළ බවත්, අදාළ පුද්ගලයන් සමඟ සාකච්ඡා කර කරුණු තහවුරු කරගත් බවත් ඔහු පැවසීය. වසර 20කට වඩා වැඩි කාලයක් ගත වී තිබූ බැවින් පොලිස් ප්රශ්න කිරීමේදී ඇතැම් පැරණි තොරතුරු ක්ෂණිකව මතකයට නොපැමිණි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
පැමිණිල්ල: සාක්ෂිකරු, ඔබ මීට පෙර ලබාදුන් සාක්ෂිය සත්ය බවටත්, බොරුවක් නොකියන බවටත් ප්රතිඥා දුන්නා නේද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි, මම ප්රතිඥා දෙනවා.
පැමිණිල්ල: බැංකු පනත යටතේ යම් තැනැත්තකුට බැංකුවක කොටස් හිමිකර ගැනීම සම්බන්ධයෙන් පවතින සීමා ගැන ඔබ දන්නවාද?
සාක්ෂිකරු: 1999 අප්රේල් 10 වැනිදා අංක 55 යටතේ ශ්රී ලංකා මහ බැංකු අධිපතිවරයා නිකුත් කරපු රෙගුලාසියක් තියෙනවා. එහි දෙවැනි සහ තුන්වැනි ඡේදවල මේ ගැන සඳහන් වෙනවා.
පැමිණිල්ල: ඒ රෙගුලාසියට අනුව යම් තැනැත්තකුට සෘජුව හෝ වක්රව තබාගත හැකි උපරිම කොටස් ප්රමාණය සියයට 15ක් බව සඳහන් වෙනවා. එහෙත් ඔබ මෙයට කලින් කිව්වේ සියයට 10ක් කියලා නේද?
සාක්ෂිකරු: ස්වාමීනි, මට කලින් මේ ගැන නිශ්චිත අවබෝධයක් තිබුණේ නෑ. මගේ මතකයේ තිබුණේ සියයට 10ක සීමාවක් ගැන. ඒත් වසර 20කටත් වඩා පැරණි සිද්ධියක් නිසා වචනවල වෙනස්කම් තියෙන්න පුළුවන්.
පැමිණිල්ල: ඔබ පවසන්නේ මේ කොටස් සීමාව නිසා ඇතිවූ බාධාව මඟහරවා ගන්න ඔබට ඇටෝර්නි බලපත්රය දුන් බවද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි. ඒ කාලේ ඩිජිටල් නොමිනීස් සමාගමට කොටස් මිලදී ගැනීමේ සීමාවක් තිබුණා. ඔවුන්ට අවශ්ය වුණා අධ්යක්ෂ මණ්ඩලය වෙනස් කරන්න. බලපෑමක් කරන්න. පුළුවන් තරම් කොටස් ප්රමාණයක් ගන්න. ඔවුන්ගේ නමට තවදුරටත් කොටස් ගන්න බැරි නිසයි මගේ නමට කොටස් මිලදී ගන්න මට ඇටෝර්නි බලපත්රයක් ලබා දුන්නේ.
පැමිණිල්ල: ඔබ 2015 සහ 2016 වසරවල ලබාදුන් ප්රකාශවල මේ සියයට 15 සීමාව ගැන නිවැරදිව සඳහන් කළේ නැහැ නේද?
සාක්ෂිකරු: ඒ අවස්ථාවලදී මේ සීමාව ගැන කවුරුත් අභියෝග කළේ නැහැ ස්වාමීනි. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර සෙව්වේ නැහැ.
පැමිණිල්ල: මම ඔබට යෝජනා කරනවා, මේ දීර්ඝ කාලය පුරාම ඔබ මේ ගැන වැරදි ස්ථාවරයකයි හිටියේ කියලා.
සාක්ෂිකරු: මම ඒක ප්රතික්ෂේප කරනවා.
1997 වසරේදී තමන්ට ඇටෝර්නි බලපත්රය ලැබෙන විට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තමන්ට තිබූ බව විත්තිකරු අධිකරණය හමුවේ තවදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේය. නීතිඥවරයා විසින් විමසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සිඩ්නි ජයසිංහ මහතාගේ කාර්යාලය ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවතේ පිහිටි ඉන්ද්රා ට්රේඩර්ස් ගොඩනැඟිල්ලේ පළමු මහලේ පැවැති බව කියා සිටියේය.
මෙහිදී රජයේ අධිනීතිඥවරයා චෝදනාවක් කරමින් විත්තිකරු විසින් කිසිවකු නොමැති අවස්ථාවක බැංකුවේ කොටස් විකුණා ලැබුණු මුදල් සිඩ්නි ජයසිංහට ලබාදීම ගැන ප්රශ්න කර සිටියේය.
මෙම යෝජනාව තරයේ ප්රතික්ෂේප කළ විත්තිකරු කියා සිටියේ තමා සිඩ්නි ජයසිංහ මහතාගේ කාමරයට යන විට ඔහු එහි සිටි බවත්, ඒ අනුව ධම්මික පෙරේරාට කොටස් විකිණීමෙන් ලද මුදල් ඔහුට දුන් බවත් පැවසීය.
තමන් සහ සිඩ්නි ජයසිංහ මහතා අතර තිබූ සම්බන්ධය පිළිබඳව සාක්ෂි දෙමින් විත්තිකරු ප්රකාශ කළේ එය ව්යාපාරික සම්බන්ධයකට වඩා එහා ගිය පවුල් සබඳතාවක් බවයි.
‘ඔහු මා ඉගෙන ගත් ඩී.එස්. සේනානායක විද්යාලයේ ක්රියාකාරි අයෙක්. විද්යාලයේ නියෝජ්ය ප්රධාන ශිෂ්ය නායක ලෙස මා ඔහු හොඳින් දැන සිටියා. අපි කුඩා කල සිටම ඔහු හැඳින්වූයේ ‘සිඩ්නි අංකල්’ කියලා’ යැයි ඔහු පවසා සිටියේය. සිඩ්නි ජයසිංහ මහතාගේ පුතුන් දෙදෙනා සමඟ තමන් පාසල් ගිය බවත්, පසුව ඔස්ට්රේලියාවේදී කාමරයක් කුලියට ගෙන ඔවුන් සමඟ එකට ජීවත් වූ බවත් විත්තිකරු පැවැසීය. මෙම දැඩි පවුල් සම්බන්ධතාව සහ විශ්වාසය මත පදනම්ව සියලු කටයුතු සිදු වූ බවත්, එහිදී කිසිදු වංචනික චේතනාවක් නොතිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
සිඩ්නි ජයසිංහ මහතා තමන් කෙරෙහි තබා තිබූ අසීමිත විශ්වාසය පිළිබඳව තවත් උදාහරණයක් ඉදිරිපත් කරමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, වරක් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා රුපියල් මිලියන 30ක් වැනි අතිවිශාල මුදලක් ඔහු තමන්ට ලබා දුන් බවයි.
එවැනි විශ්වාසයක් පවතින පසුබිමක, රුපියල් මිලියන 21ක කොටස් සාවද්ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනාව පදනම් විරහිත බව ඔහු අවධාරණය කළේය.
පැමිණිල්ල: සාක්ෂිකරු, ඔබ මීට පෙර සඳහන් කළා බ්රයන් ෂැඩික් නමැති පුද්ගලයා හෝ සිඩ්නි ජයසිංහ යන අය පෑන් ඒෂියා බැංකුවේ ඩොලර් ලක්ෂයක කොටස් මිලදී ගත් බව. ඒත් ඔබ දැන් පවසන්නේ ඔබ එම කොටස් දැක නොමැති බවද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි. බ්රයන් ෂැඩික් මට කිසිම ඇටෝර්නි බලපත්රයක් ලබාදී තිබුණේ නැහැ. 2005 වසරේ ඔහු ලංකාවේ හිටියෙත් නැහැ.
පැමිණිල්ල: ඔබ 2015 අගෝස්තු 20 වැනිදා ලබාදුන් ප්රකාශයේ සඳහන් කර තිබෙනවා, සිඩ්නි ජයසිංහට ඇටෝර්නි බලපත්රයක් තිබුණාදැයි ඔබ නොදන්නා බව. එය සත්යයක්ද?
සාක්ෂිකරු: ස්වාමීනි, එදා මගෙන් ප්රශ්න කළේ බ්රයන් ෂැඩික් සතු කොටස් සම්බන්ධවයි. එහිදී මම පවසා සිටියේ බ්රයන් ෂැඩික්ට ඇටෝර්නි බලපත්රයක් තිබුණාදැයි මා නොදන්නා බවයි. එය සිඩ්නි ජයසිංහ මහතාට අදාළ ප්රශ්නයක් නෙවෙයි.
පැමිණිල්ල: ඒත් ඔබ එදා ලබාදුන් ප්රකාශයේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා සිඩ්නි ජයසිංහට ඇටෝර්නි බලපත්රයක් තිබුණාදැයි ඔබ නොදන්නා බව. ඔබ දැන් පවසන දේ ඊට වඩා වෙනස් නේද?
සාක්ෂිකරු: ස්වාමීනි, මෙම විමර්ශනය ආරම්භයේදී මට මේ ගැන අද පවතින අවබෝධය තිබුණේ නැහැ. ඩිජිටල් නොමිනී සමාගමේ කොටස් සම්බන්ධයෙන් තිබූ ඇටෝර්නි බලපත්රය ගැන නිවැරදි කරුණු මට අවබෝධ වුණේ පසුවයි යැයි කියා සිටියේය.
විත්තිකරු ආයතනයෙන් ඉවත් වන විට පැමිණිලිකාර බ්රයන් ෂැඩික් සමඟ යම් ගැටුමක් තිබූ බව විත්තිකරු පිළිගත්තේය. තමන් ඉවත් වීමට පෙර එවකට සභාපති ලෙස්ටර් ෆොන්සේකා මහතා සහ ඩී.එම්. අමරසේකර මහතා ද ආයතනයෙන් ඉවත් වූ බව ඔහු පෙන්වා දුන්නේය. අධ්යක්ෂ මණ්ඩලයේ පැවති මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සමාගම් ලේකම්වරුන් පවා මැනවින් දැන සිටි බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
තමන් වෙනුවෙන් සාක්ෂි දීම සඳහා සිඩ්නි ජයසිංහ ඉදිරිපත් කළ නොහැකි බව කියා සිටි විත්තිකරු සමාගමේ ලේකම්වරිය විත්තියේ සාක්ෂිකාරියක ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දැනුම් දුන්නේය. අනෙකුත් අධ්යක්ෂවරුන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කළහැකිදැයි සොයා බලන බව උසාවියට දැනුම් දුන්නේය. මෙම නඩු විභාගයේදී විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්ර ප්රනාන්දු මහතා පෙනී සිටියේය. නඩුවේ වැඩිදුර විභාගය ජූලි 03 වැනිදාට කල් තබන ලදි.
චන්දන ජයවීර දිවයින පුවත්පතට ලියූ වාර්තාවක් ඇසුරිණි
