අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියක බරපතල ලෙස දුෂණය කළ බව කියන සිද්ධියට අදාලව පොලිසිය සිදු කරන විමර්ශන පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ මහත්මිය විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
රජයේ අධිනීතීඥවරිය මේ බව ප්‍රකාශ කලේ අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියක බරපතල ලෙස දුෂණය කළ බව කියන සිද්ධියට අදාල නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා ඉදිරියේ (26) යළි කැදවු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු වරට පෙනී සිටිමිනි.
නඩුව කැඳවු අවස්ථාවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමසා සිටින අතර, මහේස්ත්‍රාත්වරයාට ප්‍රතිචාර දක්වමින් නිට්ටඹුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා පවසා සිටියේ, මෙම සිද්ධියට අදාල මුල් DNA පරීෂණයට අදාල වාර්තාව දැනටමත් ලැබී ඇති බවත්, දෙවැනි DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවත්ය. විමර්ශන වලට අදාලව සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ සහ වින්දිත දැරියගේ මවගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේශන වාර්තා ලබාගෙන දැනටමත් අධිකරණයට භාරදී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කලේය. සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවද අධිකරණයට දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරි විමර්ශන වල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබදව ජාතික ළමාරක්ෂක අධිකාරිය ද තවදුරටත් පසුවිපරමින් සිටින බවයි. මෙම අපරාධයට අදාලව දැනට නිකුත් වී තිබෙන මුල් DNA පරීක්ෂණ වාර්තාවේ පිටපතක් තම අධිකාරියට ලබාදෙන ලෙසද සභාපතිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. සභාපතිනියගේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගාස්තුවට යටත්ව, අදාල DNA පරීක්ෂණ වාරතාවේ සහතික කළ පිටපතක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලබාදෙන ලෙසට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කෙරිණි.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කලේ, මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින නිසා විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා නොකරන බවයි. විමර්ශ වල ප්‍රගතිය වාර්තා කිරිම සඳහා දිනයක් ලබාදෙන්නැයි පොලිසිය කළ ඉල්ලීමට තම එකඟතාව පළ කරන බවද ජනාධිපති නීතීඥවරයා කීවේය.
වින්දිත දැරිය අධීක්ෂණය කරනු ලබන පරිවාස නිලධාරිනිය සඳහන් කලේ, දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමු කරමින් යහපත්ව ඉතාමත් ආරක්ෂිත ලෙස පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රඳවා සිටින බවයි. දැරිය රඳවා සිටින ස්ථානය පිළිබඳව ද හෙළි කිරීමට පරිවාස නිලධාරිනිය උත්සාහ කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට දැනුම් දුන්නේ දැරිය රඳවා සිටින ස්ථානය හෙළි නොකරන ලෙසයි.
සියලු පාර්ශ්ව වල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාලව නීතිපති උපදෙස් ලබාන්නා ලෙසට නිට්ටඹුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරමින්, නඩුව එලැඹෙන අගෝස්තු මස 21 වැනි දින යළි කැඳවීමට නියෝග කලේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අගෝස්තු 21 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සහ වින්දිත දැරියගේ මවට තවදුරටත් නියෝග කලේය.
මෙම බාලවයස්කාරය දැරිය දුෂණය කිරීමේ සිද්ධියට අදාලව සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව නිට්ටඹුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 1995 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 265 ආ(2)ආ වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය සිදුකිරිම සහ 1995 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහ පනතේ 364(2)(ඊ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දුෂණ සිදුකිරීමේ චෝදනා යටතේය.
මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 2006 අංක 16 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ඉහත වැරදි සිදුකිරීම සඳහා ආධාර අනුබල ලබාදිමේ චෝදනා යටතේය.
පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව සහකාර පොලිස් අධිකාරිවරයා සමඟ නිට්ටඹුව මුලස්ථාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය පොලිස් පරීක්ෂිකා වසුන්දරා කරුණාරත්න අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු මෙහෙයුම් නිලධාරී උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පෙනී අතර, ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිනි හිටපු හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මිය ඇතුළු නීතී නිලධාරීහු පෙනී සිටියහ.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් නීතීඥවරුන් වන හේමන්ත ගමගේ, රංජිත් රාජකරුණා, චාන්දනී හටන්ගල, මහේෂ් කොටුවැල්ල, සජීව ගුණරත්න, ආරියරත්න වික්‍රමආරච්චි, මදාරා විජේසිංහ, කාලිංග රවීන්ද්‍ර, ධනුෂ්ක දහම්පත් යන නීතීඥ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.
මෙම නඩුවේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දෙවැනි සැකකාර වින්දිත දැරියගේ මවද මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියේය. අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පුජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, අභයගිරිය චෛතරාමාධිපති මහාචාර්ය පුජ්‍ය කල්ලංචියේ රතනසිරි, ලංකාරාමාධිපති පුජ්‍ය රලපනාවේ ධම්මජෝති සහ ථුපාරාමාධිපති ඥානින්ද යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් මෙම නඩුව දැක බලා ගැනීම සඳහා විවෘත අධිකරණයේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණ.
