නදුන් චින්තක සීඅයිඩීයෙන් පැන යන්න හැදූ සිද්ධියට අධිචෝදනා! මින්පසු නදුන් චින්තකව සහ මිදිගම රුවන්ව ඔන්ලයින් ක්‍රමයට උසාවි ගේන්නලු!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායෑමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට සහ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ ඇතුළු විත්තිකරුවන් 5 දෙනකුට 23දා කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා කියවා දෙන ලදි.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට අදාළ චෝදනා කියවා දීම සිදු විය. මේ වන විට රැඳවුම් නියෝග භාරයේ රඳවා සිටින ප්‍රධාන විත්තිකාර නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ යන විත්තිකරුවන් දෙදෙනා විශේෂ පොලිස් හා ආරක්ෂක බළඇණිවල දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

චෝදනා කියවා දීමෙන් පසු විත්තිකරුවන් වෙනුවෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කියා සිටියේ සිය සේවාදායකයන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම පිළිබඳව විරුද්ධ වන බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රවේශයෙහි එම පනත ගෙන ඒමේ අරමුණ දැක්වෙන බව කියා සිටි විත්තියේ නීතිඥවරු, චුදිතයන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා එම පනතේ අරමුණු සමඟ සැසඳිය නොහැකි බව ප්‍රකාශ කළහ.

විත්තියේ විරෝධතාවල නෛතික පදනමක් නොමැති බව කියා සිටි පැමිණිල්ල, අධිචෝදනා පත්‍රයේ අඩංගු කරුණු පිළිබඳ විරෝධතාවක් ඇත්නම් එය ඉදිරිපත් කළ යුතු අධිකරණය මෙය නොවන බව පෙන්වා දුන්නේය. විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15.1 වගන්තිය අනුව සිදු වී ඇති බවත්, විත්තිකරුවන් ඒ යටතේ රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සම් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පෙන්වා දෙනු ලැබීය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය, මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන ජූලි 30 වැනිදා ප්‍රකාශ කිරීමට දින නියම කළේය.

කෙසේ වෙතත්, මෙම විත්තිකරුවන්ට දැඩි ජීවිත තර්ජන පවතින බව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ඉදිරි නඩු වාරයන් සඳහා ඔවුන්ව අධිකරණය වෙත සෘජුව ඉදිරිපත් නොකර, මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කිරීමට මෙහිදී නියෝග කළේය.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් වන්නේ 2023 වසරේ අප්‍රේල් මස 01 වැනිදා සහ සැප්තැම්බර් මස 10 වැනිදා අතර කාල සීමාව තුළ මෙම අපරාධකාරී කුමන්ත්‍රණය සිදු වී ඇති බවයි. මෙම විත්තිකරුවන්ට අමතරව, ඔහුට පලා යෑමට උදවු කළ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර සහ ඇල්ලාලගොඩ මද්දුමගේ දිනේෂ් තරංග යන අය ද විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

රජයේ අධිනීතිඥ සචින්ත බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සමඟ නීතිඥ සංජය ආරියදාස, උදුල් ප්‍රේමරත්න යන මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

(දිනමිණ – චන්දන ජයවීර)

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading