ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන දයා ගෲප් සහ මහජන බැංකුව අතර අභියාචනාධිකරණයේ විභාග වූ CA(WRIT) 453/2022 නඩු තීන්දුව බොහෝ දෙනෙකුට පූර්වාදර්ශයක් වන සිදුවීමකි. මෙම සටහන අධිකරණ තීන්දුව විස්තරාත්මකව ඉදිරිපත් කිරීමකි.
ව්‍යාපාරික පසුබිම
මෙම නඩුවේ පෙත්සම්කරුවන් වන්නේ 1984 දී සංස්ථාපනය කරන ලද ඉදිකිරීම් සහ ආයෝජන සමාගමක් වන දයා ගෲප් ලිමිටඩ් සහ 1992 දී සංස්ථාපනය කරන ලද ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමත ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන දයා ඇපරල් එක්ස්පෝට් (ප්‍රයිවට්) ලිමිටඩ් යන ආයතනයි. මෙම සමාගම් දෙකෙහිම පොදු කොටස් හිමිකාරිත්වයක් පැවතියද, ඒවා නීතිමය වශයෙන් වෙනස් ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වේ.
ව්‍යාපාරික කටයුතු සඳහා මෙම සමාගම් විසින් 1 වන වගඋත්තරකරු වන මහජන බැංකුවෙන් (People’s Bank) ණයවර ලිපි සහ කාලීන ණය ඇතුළු විවිධ ණය පහසුකම් ලබාගෙන තිබුණි. මෙම ණය මුදල් සුරක්ෂිත කිරීම සඳහා 1 වන පෙත්සම්කරු වන දයා ගෲප්ට අයත් “මිල්ලනිය වත්ත” සහ “මීරනියා වීදියේ” පිහිටි දේපළ බැංකුවට උකස් කර තිබුණි.
අර්බුදයේ මුල
පෙත්සම්කරුවන් පවසන පරිදි, ඔවුන්ගේ ණය ගෙවීමේ හැකියාව දැඩි ලෙස කඩා වැටුණේ ඔවුන්ට පාලනය කළ නොහැකි බාහිර සාර්ව ආර්ථික සාධක හේතුවෙනි. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ ඉන්ධන හිඟය සහ දේශීය දේශපාලන අස්ථාවරත්වය ඔවුන් හේතු ලෙස දක්වා තිබුණි.
මෙම තත්ත්වයන් මත ඔවුන්ට දැඩි මුදල් ප්‍රවාහ ගැටළු ඇති වූ බවත්, බැංකුව විසින් ඔවුන්ගේ තැන්පතු අත්හිටුවීම සහ ගිණුම්වලින් මුදල් කපා ගැනීම නිසා තත්ත්වය තවත් උග්‍ර වූ බව ඔවුහු ප්‍රකාශ කර තිබුණි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව, මහජන බැංකුව විසින් 2021 මාර්තු 26 වන දින උකස් කළ දේපළ වෙන්දේසි කිරීම සඳහා (පරාටේ ක්‍රියාත්මක කිරීමට) අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවක් සම්මත කළේය.
මහජන බැංකුවේ මෙම පියවරට එරෙහිව පෙත්සම්කරුවන් අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥා ඉල්ලා සිටියේ තර්ක කිහිපයක් මත පදනම් වෙමිනි.
ඔවුන්ගේ ප්‍රධාන තර්කය වූයේ 1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ “පරාටේ” ක්‍රියාත්මක කිරීමේ බලය සීමා වී ඇත්තේ ප්‍රධාන ණයකරුගෙන් ණය අයකර ගැනීමට පමණක් බවයි. මෙහිදී ණය පහසුකම් ලබාගෙන තිබුණේ 2 වන පෙත්සම්කරු (දයා ඇපරල්) වන අතර, ඒ සඳහා ඇපයට තබා තිබුණේ 1 වන පෙත්සම්කරුගේ (දයා ගෲප්) දේපළයි. එබැවින් තුන්වන පාර්ශවයකට අයත් දේපළක් වෙන්දේසි කිරීමට බැංකුවට ව්‍යවස්ථාපිත අයිතියක් නොමැති බව ඔවුහු පැවසූහ.
ඔවුන්ගේ තවත් තර්කයක් වූයේ මුල් උකස්කරවල ඇමරිකානු ඩොලරය සඳහා ශ්‍රී ලංකා රුපියල් 152.8 ක සහ 166.7 ක ස්ථාවර අගයක් නියම කර තිබූ බවයි. එසේ තිබියදී බැංකුව විසින් ඉහළ නැංවුණු පාවෙන විනිමය අනුපාතයක් (අයදුම්පත කරන අවස්ථාවේ ඩොලරයක් රු. 365 ක් පමණ) භාවිතා කරමින් ඇමරිකානු ඩොලර් 1,420,829.26 ක මුදලක් අයකර ගැනීමට උත්සාහ කරන බවට ඔවුන් චෝදනා කළහ. මේ හරහා බැංකුව සැබෑ හිඟ මුදලට වඩා රුපියල් මිලියන 353.77 කට වැඩි අසාධාරණ ලාභයක් ලබා ගැනීමට උත්සාහ කරන බව පෙත්සම්කරුවන් තර්ක කළේය.
වෙන්දේසි දැන්වීම්වල උකස්කරු ලෙස 2 වන පෙත්සම්කරු වැරදියට හඳුනාගෙන ඇති බවත්, පනතේ 29F සහ 29G වගන්ති යටතේ අනිවාර්ය ව්‍යවස්ථාපිත නොතීසි බැංකුව විසින් නිසි ලෙස ලබා දී නොමැති බවත් ඔවුහු පැවසූහ. තවද, රුපියල් බිලියන 3.7 ක ණයක් අයකර ගැනීම සඳහා රුපියල් බිලියන 4 කට වඩා වටිනා දේපළක් වෙන්දේසි කිරීමට දරන උත්සාහය ද්වේෂසහගත (Mala Fide) ක්‍රියාවක් බව ඔවුන්ගේ අදහස විය.
වගඋත්තරකරුවන්ගේ ප්‍රතිචාර
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රබල මූලික විරෝධතා කිහිපයක් මතු කළහ.
බැංකුව පෙන්වා දුන්නේ වෙන්දේසිය සඳහා වූ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව 2021 අප්‍රේල් මාසයේදීම රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි. එහෙත් පෙත්සම්කරුවන් මෙම රිට් අයදුම්පත ගොනු කර ඇත්තේ 2022 නොවැම්බර් 24 වැනි දිනයි. මෙම වසර එකහමාරකට වැඩි අසාධාරණ ප්‍රමාදය හේතුවෙන් ඔවුන්ට නීතිමය සහන ලබා ගැනීමට අයිතියක් නොමැති බව බැංකුව තර්ක කළේය.
මීට පෙර 1 වන පෙත්සම්කරු විසින් බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණයේ (HC(Civil) 194/2021/MR) මීට සමාන ඉල්ලීමක් කරමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියද, එම යෝජනාවේ වලංගුභාවය තීරණය කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප වී තිබුණි. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය (SC/HC/LA/91/2022) සඳහා අවසර ලබා දීම ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා දැනටමත් තීරණය වී ඇති කරුණක් යළිත් රිට් අධිකරණයක් හරහා අභියෝගයට ලක් කළ නොහැකි බව බැංකුවේ තර්කය විය.
ඇමරිකානු ඩොලර් මිලියන 1.42 කට අධික මුදලක් සහ අමතර පොලිය අයකර ගැනීම සඳහා මහජන බැංකු පනතේ 29D වගන්තිය යටතේ මෙම දේපළ පරාටේ ක්‍රියාත්මක කර වෙන්දේසි කිරීමට බැංකුවට නිරපේක්ෂ අයිතියක් ඇති බව වගඋත්තරකරුවෝ තරයේ ප්‍රකාශ කළහ. විවිධ සහන ලබා දී වෙන්දේසිය කල්දැමීම් සිදු කළද පෙත්සම්කරුවන් දිගින් දිගටම තම මූල්‍ය වගකීම් පැහැර හැර ඇති බවද ඔවුන් පෙන්වා දුන්නේය.
පරාටේ නීතිය
පෙත්සම්කරුවන් පනතේ 29F සහ 29G වගන්ති යටතේ තමන්ට නිසි නොතීසි ලැබුණේ නැතැයි කළ තර්කය අධිකරණයේ දැඩි විමර්ශනයට ලක් විය. බැංකුව ඉදිරිපත් කළ ලේඛනවලට අනුව, වෙන්දේසි යෝජනාව සම්මත වූ පසු 2 වන පෙත්සම්කරු වෙනුවෙන් දයා ගමගේ මහතා ද ඇතුළුව නියෝජිතයින් බැංකුව සමඟ සාකච්ඡා කර ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලිපි හුවමාරු කරගෙන තිබුණි. මෙම කරුණ පෙත්සම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර නොතිබුණි. යෝජනාව සම්මත වූ වහාම ඒ බව දැනගෙන ණය පියවීමට සාකච්ඡා කර ඇති බැවින්, පසුව අධිකරණයට පැමිණ “අපට නොතීසි ලැබුණේ නැතැයි” පැවසීම හුදෙක් තාක්ෂණික විරෝධතාවක් පමණක් බවත්, ඔවුන්ගේම හැසිරීම මගින් එම තර්කය නිශ්ප්‍රභ වන බවත් අධිකරණය තීන්දු කළේය.
තුන්වන පාර්ශවයකට අයත් දේපළක් පරාටේ නීතිය යටතේ වෙන්දේසි කළ නොහැකි බවට පෙත්සම්කරුවන් ගෙන ආ ප්‍රබල තර්කය බිඳ වැටුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දෙන ලද Sunpac Engineers (Private) Limited v. DFCC Bank (SC/APPEAL/11/2021) නඩු තීන්දුව පදනම් කරගනිමිනි. එම තීන්දුව මගින් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ, උකස්කරුවා ණයගැතියා වුවද හෝ තුන්වන පාර්ශවයක් වුවද, ණය පියවීම පැහැර හැර ඇති අවස්ථාවක බැංකුවට ඇපයට තබා ඇති ඕනෑම දේපළක් මත පරාටේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බවයි.
986 අංක 32 දරන මහජන බැංකු (සංශෝධන) පනතේ 29D වගන්තියට අනුව, දේපළක් වෙන්දේසි කිරීම සඳහා බැංකුව විසින් සම්මත කරන ලද යෝජනාවක් කිසිදු හේතුවක් මත අවලංගු කරන ලෙස ඉල්ලා අධිකරණයකට යාමට ණයගැතියාට හෝ අදාළ දේපළ සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියන කිසිදු පුද්ගලයෙකුට නීතිමය හැකියාවක් නොමැත. එසේම කිසිදු අධිකරණයක් එවැනි අයදුම්පතක් භාර නොගත යුතු බවට එහි පැහැදිලිව සඳහන් වේ.
උකස්කරවල සඳහන් කර තිබූ රුපියල් අගයන් (ස්ථාවර විනිමය අනුපාතය) හුදෙක් මුද්දර ගාස්තු ගණනය කිරීම සඳහා පමණක් යොදාගත් ඒවා බවත්, එමගින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් ණයවල සම්පූර්ණ වටිනාකම පවතින පරිවර්තන අනුපාතය යටතේ අයකර ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත් අධිකරණය නිරීක්ෂණය කළේය. එසේම, පොලී අනුපාත හෝ නිශ්චිත ණය මුදල ගණනය කිරීම වැනි කරුණු “රිට්” (Writ) අධිකරණයකදී විභාග කළ නොහැකි, සිවිල් ආරවුල් (disputed facts) බව අධිකරණය පෙන්වා දුන්නේය.
අධිකරණ තීන්දුව
කරුණු සියල්ල සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
නීතිය උපකාර කරන්නේ අවදියෙන් සිටින අයට මිස තම අයිතිවාසිකම් මත නිදා සිටින අයට නොවන බව (vigilantibus Non Dormantibus Jura Subveniunt) පෙන්වා දෙමින්, පෙත්සම්කරුවන්ගේ අසාධාරණ ප්‍රමාදය අධිකරණය විසින් විවේචනය කරන ලදී.
2021 මාර්තු 26 වන දින සම්මත කරන ලද විධිමත් යෝජනාවට අනුව, අදාළ මුදල් සම්පූර්ණයෙන් පියවීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බැවින්, උකස් කළ දේපළ පරාටේ ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මහජන බැංකුවට සම්පූර්ණ අයිතිය ඇති බව තීරණය කෙරිණි.
ඒ අනුව සුමුදු ප්‍රේමචන්ද්‍ර විනිසුරු සහ ආර්. ගුරුසිංහ විනිසුරු යන මහත්වරුන්ගේ එකඟතාවයෙන්, දයා ගෲප් සහ දයා ඇපරල් සමාගම් විසින් ගොනු කර තිබූ මෙම රිට් අයදුම්පත රුපියල් 1,000,000/= (ලක්ෂ දහයක) නඩු ගාස්තුවකට යටත්ව මුළුමනින්ම නිශ්ප්‍රභ කරනු ලැබීය.
මෙම නඩු තීන්දුව මගින් බැංකු පද්ධතියේ ණය අයකර ගැනීමේ බලය තවදුරටත් තහවුරු වූ අතර, පරාටේ නීතිය අභියෝගයට ලක් කිරීමට ණයකරුවන්ට ඇති සීමිත හැකියාව මනාව පෙන්නුම් කළේය.
