රත්තරන් තුවක්කුවේ නඩුවෙන් බේරුණු දුමින්ද දිසානායකව නැවත සැකකරුවෙකු කරන්නැයි නීතිපති කියලලු!

රන් ආලේපිත T-56 ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් පොලිසියට උපදෙස් දී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, අදාළ ගිනි අවිය සඟවා තබා ගැනීමට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත ඔහුව සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නව උපදෙස් නිකුත් කර ඇත.

මීළඟ නඩු විභාග දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා දිසානායක මහතාට නොතීසි නිකුත් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ වැල්ලවත්ත, හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් සිය නිවසට T-56 ගිනි අවියක් රැගෙන යන බවට එම සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් මත මෙම විමර්ශනය ආරම්භ විය. නිවස පරීක්ෂා කිරීමේදී ගමන් මල්ලක බහා තිබූ අදාළ රන් ආලේපිත ගිනි අවිය පොලිස් භාරයට ගැනුණි.

මෙම සිද්ධියට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව ද පසුගිය වසරේ මැයි 23 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දිසානායක මහතා (සිව්වන සැකකරු), පසුගිය වසරේ ජූලි 29 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මෙනවිය විසින් නඩුවෙන් මුදා හරින ලදී.

එයට හේතු වූ ප්‍රධානම කරුණ වූයේ ගිනි අවි ආඥා පනතේ 22 සහ 43 වගන්ති යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කළ ද, එම චෝදනා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සෘජු හෝ පරිවේශනීය සාක්ෂි ඉදිරිපත් වී නොතිබීමය. දිසානායක මහතාගේ සේවකයෙකු විසින් පළමුවන සැකකාරියට ලබාදුන් බව කියන බෑගය තුළ අදාළ ප්‍රශ්නගත ගිනි අවිය තිබූ බවට සාක්ෂි මගින් සනාථ වී නොතිබීම සහ පළමුවන සැකකාරිය විසින් ලබාදුන් ප්‍රකාශය මත පමණක් පදනම්ව නඩුවක් ඉදිරියට ගෙනයාමට නීතිමය හැකියාවක් නොමැති වීමද ඔහුගේ නම ඉවත් කිරීමට හේතු විය.

මුල් අවස්ථාවේදී සාක්ෂි නොමැතිකම මත ඔහු නිදහස් කරනු ලැබුවද, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් තවදුරටත් පසු විමර්ශන සිදු කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading