කාලයේ වැලිතලාවෙන් නොවැසුණු, හයිද්‍රාබාද් අහස සිඹින අමරණීය ප්‍රේමය – චාර්මිනාර්

සදාතනික ප්‍රේමයේ සහ භක්තියේ නිම නොවන සිහිවටනය චාර්මිනාර් විඳින්නට දහස් ගණන් සංචාරකයන් දිනපතා හයිද්‍රාබාද් නුවරට පැමිණෙයි. අහස සිඹින චාර්මිනාර් අසිරිය, අභිරහස් බව සහ අභිමානය මුසු වූ විසල් කුළුණු, අතීතයේ රහස් කොඳුරන මහා ප්‍රේම වෘත්තාන්තයක් දරාගෙන සිටියි.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ ප්‍රධානතම සලකුණ ලෙස සැලකෙන චාර්මිනාර් (Charminar) හඳුන්වනු ලබන්නේ Arc de Triomphe of the East යනුවෙනි. කුටුබ් ෂාහි රාජවංශයේ පස්වන පාලකයා වූ සුල්තාන් මුහම්මද් කුලි කුටුබ් ෂා විසින් 1591 දී ඉදිකරවන ලද මෙම දැවැන්ත නිර්මාණය හුදෙක් ස්මාරකයක් පමණක් නොව ඓතිහාසික වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වය සහ විචිත්‍රවත් සංස්කෘතික මිශ්‍රණයක සංකේතයකි.

කුළුණු හතරක් සහ සංකීර්ණ කැටයම් සහිත මෙම සමචතුරස්‍රාකාර නිර්මාණය ඉදිකිරීමට බලපෑ සැබෑ හේතුව පිළිබඳව තවමත් විවිධ මත පවතී. එසේම මෙම මහා මන්දිරය, ඉන්දු-ඉස්ලාමීය වාස්තු විද්‍යාවේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස අදටත් ලොවක් මවිත කරයි.

ප්‍රේමයේ සහ භක්තියේ පූජනීය මංසන්ධිය

රහස් කොඳුරන චාර්මිනාර් යනු හුදෙක් ගල් හා හුණු බඳින ලද නිර්මාණයක් නොව, එය ප්‍රේමයේ සහ භක්තියේ අපූර්ව සංකේතයකි. ජනප්‍රවාදයන්ට අනුව, මෙම මන්දිරය ඉදිවූයේ සුල්තාන්වරයාගේත් ඔහුගේ ආදරණීය බිරිඳ වූ භාග්මතී කුමරියගේත් අමරණීය ප්‍රේමයේ සංකේතයක් ලෙසිනි. රජ මාලිගාවේ සැප සම්පත්වලට එපිටින්, සුල්තාන්වරයාට තම දිවියේ සොඳුරුතම සහකාරිය මුලින්ම මුණගැසුණු ඒ සොඳුරු භූමියෙහි මෙම මහා මන්දිරය හිස එසවූ බව කියැවේ.

පස්වන මෝගල් අධිරාජ්‍යයා වූ ෂා ජහාන් විසින් කරවන ලද, භාරතයේ අග්‍රා නුවර යමුනා නදිය සිහිල් පැන් ඉහින, කිරිගරුඬ ටජ්මහල ප්‍රේමයේ සිහිවටනයක් ලෙස ලෝකයක් පිළිගනු ලබයි. ආදරයේ සදාතනික සිහිවටනය ලෙස මුම්ටාෂ් පෙම්වතිය වෙනුවන් සා ජහාන් කරවූ ටජ් මහල් මෙන්ම චාර්මිනාර් ද ආදරයේ සිහිවටනයක් ලෙස හඳුන්වනු ලබයි.

වසංගතයකින් උපන් වීරත්වයේ ස්මාරකය

චාර්මිනාර් ඉතිහාසය පිරික්සීමේදී වඩාත් ප්‍රකට මතය වන්නේ එය වසංගතයක නිමාව සනිටුහන් කරමින් ඉදිවූවක් බවයි. ඒ අනුව මෙය හුදෙක් ප්‍රේමයේ සිහිවටනයක් පමණක්ම නොව, ගැඹුරු ආගමික ශක්තියක ප්‍රකාශනයක් ද වේ. ෂියා මුස්ලිම්වරුන්ගේ Tazias හැඩය ගත් මෙහි සුවිශේෂී නිර්මාණය, කර්බාලා සටනේදී වීරත්වයෙන් දිවි පිදූවන් උදෙසා කෙරෙන උත්තම උපහාරයක් ලෙස ද සැලකේ.

එකල මුළු නගරයම වෙලාගත් බිහිසුණු වසංගතයකින් තම ජනතාව මුදාගන්නා ලෙස සුල්තාන්වරයා දෙවියන් ඉදිරියේ කඳුළු පිරි නෙතින් යාච්ඤා කර ඇති අතර වසංගතය නිමාවීමත් සමඟ, අල්ලාහ් දෙවියන්ට කරන ලද උතුම් උපහාරයක් ලෙස ඔහු මෙම කුළුණු හතරේ මන්දිරය ඉදිකළ බව විශ්වාස කෙරේ. මෙහි ඇති අඩි 160ක් උසැති කුළුණු හතර ඉස්ලාම් දහමේ මුල් කලීෆාවරුන් සිහිපත් කරන බවටද මතයක් පවතී. මෙලෙසින් චාර්මිනාර්, ලෞකික ප්‍රේමයේ මෘදු බවත්, ලෝකෝත්තර භක්තියේ ප්‍රතාපවත් බවත් එකිනෙක යා කරන සන්ධිස්ථානයක් බඳුය.

වසර දෙකක් පුරා රන් කාසි ලක්ෂ දෙකක පමණ අතිවිශාල පිරිවැයක් දරා නිම කරන ලද බව පැවැසෙන මෙම නිර්මාණය, ටොන් 14,000ක බරින් යුක්ත බව පැවසේ. අඩි 30ක ගැඹුරු පදනමක් මත ස්ථාවරව පවතින මෙය, සියවස් ගණනාවක් පුරා ස්වභාවික විපත් හමුවේ පවා නොසැලී පවතී.

17 වන සියවසේ සංචාරය කළ ප්‍රංශ ජාතික Jean de Thévenot පවසන්නේ පර්සියානු ග්‍රන්ථවලට අනුව දෙවන ඉස්ලාමීය සහස්‍රයේ ආරම්භය සැමරීම සඳහා මෙය ඉදි කළ බවයි. මෙහි මුල්ගලෙහි ඇති ශිලා ලිපියක සඳහන් වන්නේ නගරය ජනතාවගෙන් පුරවන ලෙස කරන ලද ප්‍රාර්ථනාවකි. ඉතිහාසඥ මොහොමඩ් සෆියුල්ලාට අනුව හයිද්‍රාබාද් නගරයේ කේන්ද්‍රස්ථානය ලෙස චාර්මිනාර් ඉදිකර ඇත.

රහස් උමං අභිරහස

චාර්මිනාර් වටා ගෙතී ඇති අභිරහස් අතර, මෙහි සිට ගොල්කොන්ඩා බලකොටුව දක්වා විහිදෙන රහස් උමං මාර්ගය පිළිබඳ කතාව අදටත් සංචාරකයින්ගේ කුතුහලය දල්වන්නකි. හදිසි අවස්ථාවකදී රජ පවුලට පලා යාම සඳහා ඉදි කළේ යැයි පැවසෙන මෙම උමං මාර්ගය තවමත් සොයා ගැනීමට නොහැකි වීම එහි ඇති අභිරහස් බව තවත් තීව්‍ර කරයි.

විශිෂ්ට ගෘහ නිර්මාණාත්මක ලක්ෂණ

හයිද්‍රාබාදයේ පදිංචි වී සිටි ඉරාන ජාතික වාස්තු විද්‍යාඥයෙකු වූ මීර් මොමින් අස්ත්‍රා වාඩි විසින් නිර්මාණය කරන ලදැයි සැලකෙන චාර්මිනාර්, ඉන්දු-ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය විදහා දක්වන්නකි. ප්‍රධාන වීදි හතරකට මුහුණ ලා ඇති, සෑම පැත්තක්ම මීටර් 20ක් දිගැති මෙම සමචතුරස්‍රාකාර ස්මාරකය ඉදිකිරීම සඳහා ග්‍රැනයිට් සහ හුණු බදාම භාවිතා කර ඇත. මෙහි ඇති කැපී පෙනෙනම අංගය වන්නේ මීටර් 48.7ක් උසැති කුළුණු හතර වන අතර, “චාර්මිනාර්” යන නමේ තේරුම “මිනාර හතරක්” යන්නයි. ටජ් මහල්හි ඇති තනිව පවතින මිනාර මෙන් නොව, මේවා ප්‍රධාන ව්‍යුහයට සම්බන්ධ කර ඇති අතර, ඒවා මහල් හතරකින් යුක්තව අලංකාර කැටයම් සහිත වළලු මගින් වෙන් කර ඇත.

මෙම ස්මාරකයේ ඉහළම මහලේ හයිද්‍රාබාද් නගරයේ පැරණිතම පල්ලිය පිහිටා ඇති අතර, එහි යාච්ඤා සඳහා වෙන්වූ ස්ථාන 45ක් දක්නට ලැබේ. අමුත්තන්ට වංගු සහිත පඩිපෙළ 149ක් නැගීමෙන් මෙම ඉහළ මාලයට පිවිසිය හැකි අතර, එහි සිට මුළු නගරයම දැකබලා ගත හැකිය. ගොඩනැගිල්ලේ මළුව මධ්‍යයේ යාච්ඤාවට පෙර පිරිසිදු වීම සඳහා කුඩා දිය උල්පතක් සහිත වතුර පොකුණක් නිර්මාණය කර ඇත. කුතුබ් ෂාහි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නෙළුම් පත්‍රයක හැඩය ගත් කුළුණු සහ සංකීර්ණ මෝස්තරවලින් මෙහි අලංකාරය තවත් වැඩි වන අතර, පසුව එනම් 1889 වසරේදී මෙහි පැති හතරට ඔරලෝසු හතරක් ද එක් කර තිබේ.

අද වන විට චාර්මිනාර් යනු හයිද්‍රාබාද්හි පැරණි නගරයේ හදවතයි. එය Laad Bazaar වැනි සාම්ප්‍රදායික වෙළඳපොළවල් සහ ඓතිහාසික මක්කා මස්ජිද් පල්ලියෙන් වටවී ඇත. ඉරානි චායි සුවඳ සහ හයිද්‍රාබාද් මුතු වල දීප්තිය මෙම ප්‍රදේශයට අනන්‍ය වූ අත්දැකීමක් එක් කරයි. විවිධ දිස්නය දෙන ඇඳුම් පැළඳුම් අතර තෝඩු විකුණන වෙළෙන්දන් චර්මිනර් විඳින්නට එන දහස් ගණන් සංචාරකයන්ට කෙසේ හෝ යම් දෙයක් විකුණනන්නට වෙහෙස වෙති. මේ දින වල මක්කා මස්ජිද් පල්ලියේ වතාවත් නිසා ඉතා ජනාකීර්ණ වී ඇති චර්මිනාර් භූමිය ආගමික වතාවත් අනිවාර්ය අංග වී ඇත.

චාර්මිනාර් යනු එහි අලංකාරයට ඔබ්බෙන්, වාර්ගික සහජීවනයේ සංකේතයකි. එය තෙලන්ගානා ප්‍රාන්තයේ නිල ලාංඡනයේ ද ප්‍රමුඛව දැකගත හැකිය. ඉතිහාසය සහ නූතනත්වය එක්වන ස්ථානයක් ලෙස, චාර්මිනාර් තවදුරටත් ඉන්දියාවේ Ganga-Jamuni Tehzeeb හෙවත් විවිධ සංස්කෘතීන්ගේ සුසංයෝගය නියෝජනය කරයි.

අද වන විට චාර්මිනාර් යනු හයිද්‍රාබාද් නගරයේ සංස්කෘතික අනන්‍යතාවයයි. එහි ඇති සංකීර්ණ කැටයම්, ඓතිහාසික ප්‍රේමය, කඳුළු සහ අබිරහස් මෙන්ම, ශිලා ලිපිවල සටහන්ව ඇති නගරය ජනතාවගෙන් පුරවා යහපත උදාකරන්න යන ප්‍රාර්ථනාව අදටත් සැබෑවක්ව වී පවතී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading