රත්මලාන අධි ආරක්ෂිත කලාපයේ රහස් රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථානයක්

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි අධි ආරක්ෂිත කලාපය තුළ, සංචාරක සමාගමක් මුවාවෙන් අතිශය රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන මධ්‍යස්ථානයක් වැටලීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ (19) දින සමත්ව තිබේ.

සංචාරක සමාගමක් මුවාවෙන් අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී සන්නිවේදන මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේදී එහි මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි මාලදිවයින් ජාතිකයකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එම ස්ථානයේ තිබී සොයාගත් රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් නවීන සන්නිවේදන උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

වැටලීමේදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ තොගයට අඩි 8ක් පමණ උසැති සැටලයිට් රැක් එකක්, පාවිච්චි කරන ලද සැටලයිට් රිසිවර් 10ක්, පාවිච්චි නොකරන ලද සැටලයිට් රිසිවර් 4ක් සහ සැටලයිට් හිස් පෙට්ටි 16ක් ඇතුළත් වේ. මීට අමතරව විශාල ප්‍රමාණයේ සැටලයිට් ඩිෂ් (Dishes) 5ක්, Starlink සැටලයිට් පද්ධතියක්, විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍රයක් මෙන්ම පරිගණක යන්ත්‍ර 3ක් ද එහි තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම පිරිස ලංකාවේ පෞද්ගලික දුරකථන සමාගමක දත්ත සේවා උපයෝගී කරගනිමින්, සැටලයිට් තාක්ෂණය ඔස්සේ විවිධ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා නීති විරෝධී ලෙස Download කර ඇති බවයි. පසුව එම නාලිකා, ජාත්‍යන්තරයේ සිටින පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් මත නැවත විකාශනය කරමින් මෙම මධ්‍යස්ථානය මෙහෙයවා ඇත.

මෙම නීති විරෝධී මධ්‍යස්ථානය ගුවන්තොටුපොළ ආසන්නයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබීමත්, එය මෙහෙයවීමට මාලදිවයින් ජාතිකයන් සම්බන්ධ වී තිබීමත් නිසා මේ වන විට ආරක්ෂක අංශවල දැඩි අවධානයක් යොමුව තිබේ. මොවුන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS හෝ වෙනත් කිසියම් සංවිධානයක් සමඟ සබඳතා පවත්වමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාවල නිරත වූයේද යන්න සෙවීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading