මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව දැඩි අභියෝගයකට ලක්ව ඇති මොහොතක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මාර්තු 17 වනදා රූපවාහිනී මාධ්‍යවේදීන් පමණක් කැදවා පැවැත්වූ මාධ්‍ය හමුව තීරණාත්මක එකක් විය.
ඔහු එහිදී ඉතාම තියුණු ලෙස තමන් ගෙන ඇති පියවර රැසක්ම කිය.
මෙහිදී වැඩි කතාබහකට ලක් නොවූ තීරණාත්මකම කරුණක් වූයේ අපනයනකරුවන්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට තමන් උපයන ඩොලර් භාවිතා කරමින් සෘජුවම ඉන්ධන ආනයනය කර අලෙවි කිරීමට අවසර ලබා දීමයි.
මෙම තීරණය ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල ‘උපායමාර්ගික පියවරක්’ (Tactical move) ලෙස රජයෙන් ගත් බව ඔවුන්ගේ පැත්තෙන් කිව හැකිය. රජය මෙහිදී ප්‍රධාන ඉලක්ක තුනක් සපුරා ගැනීමට උත්සාහ කරයි:
- සංචිත දහනය අවම කිරීම: රජය සතු සීමිත විදේශ විනිමය සංචිත (Gross Official Reserves) අනවශ්‍ය ලෙස තෙල් ආනයනය සඳහා වැය නොකර ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණයි.
- අපනයන අංශ බිඳ වැටීම වැළැක්වීම: රටට ඩොලර් රැගෙන එන ප්‍රධාන මූලාශ්‍ර වන අපනයන කර්මාන්ත ශාලා ඉන්ධන හිඟය නිසා අකර්මන්‍ය වීම වළක්වා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබේ.
- සංචාරක ක්ෂේත්‍රයේ අඛණ්ඩතාව: සංචාරක පැමිණීම් පහත වැටී ඇති පසුබිමක, සංචාරක ප්‍රවාහන සේවා අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා මෙය විශාල පිටුවහලකි.
දැනටමත් අපනයනකරුවන් 30ක් පමණ මෙම ‘ඩොලර් තෙල්’ වැඩපිළිවෙල සමඟ එක්වීමට එකඟතාව පළ කර ඇති අතර, මාර්තු 18 සිට මෙම සැපයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම පියවර හරහා ආර්ථිකය තුළ “ද්විත්ව වෙළඳපොළ ව්‍යුහයක්” (Dual market structure) නිර්මාණය වීමේ අවදානමක් පවතී. මෙහිදී ඩොලර් ඇති ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර, රුපියල් ආර්ථිකය මත යැපෙන සාමාන්‍ය ජනතාවට දැඩි පාලනයන්ට (Controls) යටත් වීමට සිදු වේ. සාමාන්‍ය මෝටර් රථයකට සතියකට ලීටර් 15ක් ලෙස QR පාලනයක් පවතිද්දී, ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන සහ පුද්ගලික පරිභෝජනය සඳහා අධි-පරිභෝජනයක යෙදීමට මෙමගින් වක්‍ර අවසරයක් ලැබෙන්නේද යන්න ප්‍රශ්නකාරී වේ.
මෙම තත්ත්වය පිළිබඳව විශේෂ විග්‍රහයක යෙදෙන ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂිකාවක වන ආචාර්ය අමාලි වෙදගෙදර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබුණි:
‘තෙල් ආනයනය තව දුරටත් විවෘත වෙනවා. ජනාධිපති ජාතිය අමතක කතාවේ කියනවා සංචාරක කර්මාන්තය වැනි ඩොලර් උපයන ක්ෂේත්‍රයන්ට ඔවුන්ට අවශ්‍යය තෙල් ආනයනය කරන්න අවසර දීලා තිබෙන බව. අපි දන්නවා 2022 ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ඩොලරයේ මිල ඉහල යාමත් සමඟ ලංකාවේ විනිමය වෙළෙඳාමේ නියැලී සිටින්නන් කිහිප දෙනෙක් අධික ලාභ ලැබූ බව. කෝවිඩ් කලෙත් ටෙස්ට් කිට්ස් ආනයනය කිරීම සහ කොරන්ටයින් සෙන්ටර්ස් හරහා අධික ලාභ ඉපැයූ පිරිස් සිටි බව. ඉරාන යුද්ධය ආශ්‍රිත අර්බුදයෙන් වාසි ගන්නේ කවුද? කල දුටු කල වල ඉහගන්න පිරිසක් අනිවාර්යයෙන්ම සූදානම් වී සිටින බැවින් ඔවුන්ට වල ඉහ ගන්න බැරි නියාමන ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වැදගත්. තෙල් ආනයන ලිහිල් කිරීම, ටෙන්ඩර් නැතිව තෙල්/ ගෑස් ආනයනය කිරීම නම් ඒ මාර්ගය නොවෙයි.’
ආචාර්ය වෙදගෙදර පෙන්වා දෙන පරිදි, අර්බුද කාලසීමාවන් තුළ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් අසාමාන්‍ය ලාභ ඉපැයීමට උත්සාහ කිරීමේ (Crisis profiteering) ඉතිහාසයක් ලංකාව තුළ පවතී. එම නිසා, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හෝ ලිහිල් නියාමනයන් යටතේ ඉන්ධන ආනයනයට අවසර දීම බරපතළ අවදානමකි. විශේෂයෙන්ම අපනයනකරුවන් නොව- අපනයන කර්මාන්තවල සේවය කරන කම්කරුවන් වෙහෙස මහන්සි වී උපයන ඩොලර් රටේ පොදු අවශ්‍යතාවලට වඩා පුද්ගලික සුඛවිහරණයට සහ මූල්‍ය වංචාවන්ට යොදා ගැනීමට ඇති ඉඩකඩ වැළැක්වීමට රජය කටයුතු කළ යුතුය.
පසුගිය වසරේ අතිශය දැවැන්ත වියදමක් තෙල් ආනයනය වෙනුවෙන් ශ්‍රී ලංකාව වියදම් කර තිබුණි. එහිදී තෙල් අධික ලෙස පුච්චා දමන අධිසුඛෝපභෝගී පෞද්ගලික රථවාහන වෙනුවෙන් දරන්නට බැරි තරම් තෙල් වියදමක් ශ්‍රී ලංකාව දරමින් සිටින බව පෙනී යයි.
ගැටලුව වන්නේ අපනයන කර්මාන්තවල සිටින ව්‍යාපාරික ප්‍රභූන් විශාල වශයෙන් මෙවැනි වාහන පරිභෝජනය කිරීමයි. මෙම ප්‍රභූන් ලංකාවට ගෙන්වන තෙල් කර්මාන්තවලට අමතරව තමන්ගේ පුද්ගලික සුඛවිහරණය සදහා පාවිච්චි නොකරනු ඇතැයි අපට විශ්වාස කළ හැකිද? අපනයන කර්මාන්තකරුවන් මෙන්ම ලංකාවේ ධනපති ප්‍රභූ පැළැන්තිය මේවා රිසි සේ පාවිච්චි කිරීම පාලනය කරන්නට ක්‍රමයක් තිබෙනවාද?
ඩොලර්වලින් ව්‍යාපාරිකයන් තෙල් මිලදී ගනිද්දී- වියදම් කරන්නේ අපේ රටේ අපනයන ආදායම මිස අනෙකක් නොවේ. එමෙන්ම අපේ තෙල් පරිභෝජන වියදම වැඩි වී තිබෙන්නේ ඒ සුඛෝපභෝගී වාහන නිසාය.
අවසාන වශයෙන්, මෙම ‘ඩොලර් තෙල්’ පියවර ආර්ථිකය අඛණ්ඩව පවත්වා ගැනීමට රජය ගන්නා හොඳ තීන්දුවක් වුවද, එහි ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබෙන බව සහතික කිරීමට නම් ආචාර්ය වෙදගෙදර පවසන පරිදි නියාමන යාන්ත්‍රණය ශක්තිමත් විය යුතුය. ඩොලර් තිබූ පමණින් ඉන්ධන අධිපරිභෝජනයට ඉඩ දීම සහ ටෙන්ඩර් පටිපාටිය ලිහිල් කිරීම, අර්බුදයක් මැද වුවද රටේ මූල්‍ය විනය පවත්වා ගැනීමට ඇති අරමුණට බාධාවක් වනු ඇත.

සැබෑ කුහක කම