ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් සේවක වැටුප් සඳහා වෙන්කළ රුපියල් මිලියන 75ක් යළි භාණ්ඩාගාරයට…

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (SLFI) සේවක වැටුප් ගෙවීම සඳහා 2025 අයවැය මගින් වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 75ක මුදලක් යළි මහා භාණ්ඩාගාරය වෙත භාරදීමට එම ආයතනය පියවර ගෙන තිබේ. රාජ්‍ය ආයතනයක් තමන්ට ලැබුණු පුනරාවර්තන වියදම් මෙලෙස ඉතිරි කර නැවත රජයට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.

2025 වසර සඳහා පදනම් ආයතනයේ සේවක වැටුප් වෙනුවෙන් රජය රුපියල් මිලියන 135ක මුදලක් වෙන් කර තිබී ඇත. කෙසේ වෙතත්, එම වසර තුළ ආයතනය ලැබූ ශක්තිමත් මූල්‍ය වර්ධනය හේතුවෙන් එම මුදලින් කොටසක් මෙලෙස රජයට ආපසු ලබාදීමට කළමනාකාරිත්වය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පදනම් ආයතනය 2025 වසර තුළ ඉතා සාර්ථක මූල්‍ය ස්ථාවරත්වයක් අත්පත් කරගෙන ඇති අතර, එම වසරේදී රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.

එම කාලසීමාව තුළ ආයතනයේ සමස්ත වියදම රුපියල් මිලියන 340ක් ලෙස වාර්තා වූ අතර, එමගින් ලැබූ මූල්‍ය අතිරික්තය සහ කාර්යක්ෂම පාලනය හේතුවෙන් මහා භාණ්ඩාගාරය මගින් වැටුප් සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 75ක මුදලක් යළි රජය වෙත ලබාදීමට එම ආයතනය කටයුතු කර ඇත.

අදාළ රුපියල් මිලියන 75ක චෙක්පත, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය විසින් ඊයේ (07) මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ.

2026 මාර්තු මස 26 වැනිදා පැවැති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී මෙම අතිරික්ත මුදල රජයට ලබාදීම සඳහා ඒකමතික අනුමැතිය හිමිව තිබුණි.

Author

Related Posts