මේ කතාව නාමල් රාජපක්ෂගේ ගණිතය සම්බන්ධ නොදැනුම පිළිබඳව හෝ ඔහු කරන්න යන දේ ඔහුටවත් අවබෝධයක් නොමැති කතාවක් නොවේ. මේ කතාව ජීවිතය සම්බන්ධ සහ අපේ ජිවිතයේ ඉදිරි ඉතිරිය ගෙවා දැමීමට ඉතා වැදගත් කතාවකි. “අංශක 360 කරකවන්න. පියයුරු පිළිකාව කල් තියා හඳුනා ගන්න” යනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පණිවිඩයක් නිකුත් කර තිබුණා.
වර්තමාන ලෝකයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය තර්ජනය ලෙස පියයුරු පිළිකාව (Breast Cancer) හඳුනාගෙන ඇත. මෙය හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව, පවුල් සංස්ථාව සහ රටක ආර්ථිකය කෙරෙහි ද සෘජුව බලපාන සමාජීය ගැටලුවක් බවට පත්ව තිබේ. ලොව පුරා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනයේ (IARC) නවතම දත්ත වලට අනුව, සෑම වසරකම ලොව පුරා කාන්තාවන් මිලියන 2.3කට වඩා වැඩි පිරිසක් පියයුරු පිළිකා රෝගීන් ලෙස අලුතින් හඳුනාගැනෙන අතර, ඉන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් මියයති.
ලොව පුරා රටවල් 157ක කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය මෙය වේ. සංඛ්‍යාත්මකව ගත්කළ, සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුට තම ජීවිත කාලය තුළ පියයුරු පිළිකාවක් වැළඳීමේ අවදානම පවතී.
ශ්‍රී ලංකාවේද තත්ත්වය මෙයට නොදෙවැනි වේ. මෙරට කාන්තාවන් අතර බහුලතම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. ජාතික පිළිකා මර්දන ඒකකයේ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක පමණ සංඛ්‍යාවක් අලුතින් වාර්තා වේ. නිසි කලට හඳුනා නොගැනීම නිසා වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් මෙරටදී ජීවිතක්ෂයට පත්වීම කණගාටුදායක තත්ත්වයකි.
වසරකට අලුතින් රෝගීන් 5,500 – 6,000 අතර ප්‍රමාණයක් හඳුනා ගන්නා අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර වැළඳෙන මුළු පිළිකා සංඛ්‍යාවෙන් 25% කට වඩා වැඩි ප්‍රතිශතයක් පියයුරු පිළිකා වේ. වසරකට පිළිකා රෝගීන් 900 – 1,000ත් අතර සංඛ්‍යාවක් පියයුරු පිළිකාව හේතුවෙන් මිය යන අතර, මින් බහුතරයකට හේතුව රෝගය අවසාන අදියරේදී හඳුනා ගැනීමයි.
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවධීන්
වෛද්‍ය විද්‍යාත්මකව පියයුරු පිළිකාව එහි ව්‍යාප්තිය අනුව ප්‍රධාන අවධීන් 4කට බෙදනු ලැබේ.
| අවධිය | විස්තරය | සුව වීමේ සම්භාවිතාව |
| 0 සහ 1 | පිළිකාව පියයුරට පමණක් සීමා වී ඇති ඉතා කුඩා අවධිය. | 95% – 100% |
| 2 | පිළිකාව පියයුර තුළ තරමක් වර්ධනය වී හෝ කිහිල්ලේ වසා ගැටිති වලට පැතිරී ඇති අවධිය. | 80% – 90% |
| 3 | පිළිකාව පියයුර මතුපිටට හෝ පපුවේ බිත්තියට පැතිරී ඇති අවධිය. | 50% – 70% |
| 4 (Metastatic) | පිළිකාව පෙණහලු, අක්මාව, අස්ථි හෝ මොළය වැනි ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියයන්ට පැතිරී ඇති අවධිය. | ඉතා අඩුයි |
ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ රෝගීන්ගෙන් 30%කට වඩා වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගයේ 3 වන හෝ 4 වන අවධියේදී වීමයි. මුල් අවධියේදී පියයුරු ගෙඩි වේදනා රහිත බැවින් බොහෝ දෙනා එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකා නොසලකා හරින අතර පියයුරු පරීක්ෂා කර ගැනීමට හෝ ඒ පිළිබඳව කතා කිරීමට පවතින සමාජයීය බිය සහ ලැජ්ජාව මෙලෙස පරික්ෂා කරගැනීම සිදු නොකිරීමට බලපානු ලබයි.
ශ්‍රී ලංකාව යනු රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සිට සමාජයේ බහුතර පිරිසක් අතර මිත්‍යාව ජීවිතය කරගත් අමුතු ජීවින් කොට්ටාසයක් ජිවත් වන රටක් බැවින් පිළිකා රෝගය සඳහා පවතින අවිද්‍යාත්මක හෙවත් දේශීය අත්බෙහෙත් මත යැපීමෙන් මෙම පරීක්ෂණ කෙරෙහි එතරම් තැකීමක් සිදු නොකරයි. මෙයද අවාසනාවට ඇත්ත කතාවක් වීමට බොහෝ දුරට බලපායි.
ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මෙම තත්ත්වය පාලනය කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති අතර සුවනාරි සායන මගින් දිවයින පුරා සෑම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයකම (MOH) අවුරුදු 35 ට වැඩි කාන්තාවන් සඳහා නොමිලේ පරීක්ෂණ පවත්වයි.
එසේම මැමෝග්‍රැෆි පහසුකම් සහිතව ජාතික පිළිකා ආයතනය (මහරගම අපේක්ෂා රෝහල) ඇතුළු ප්‍රධාන ශික්ෂණ රෝහල්වල මැමෝග්‍රැෆි යන්ත්‍ර ස්ථාපනය කර ඇති අතර නාරාහේන්පිට පිහිටි පිළිකා මුල් අවධියේ හඳුනාගැනීමේ මධ්‍යස්ථානය හරහා ඕනෑම අයෙකුට නොමිලේ පරීක්ෂා කර ගැනීමේ අවස්ථාව සලසා ඇත.
ජීවිතය බේරාගන්නා “අංශක 360” ස්වයං පරීක්ෂාව
බොහෝ පියයුරු පිළිකා සුව කළ හැකි මට්ටමින් හඳුනාගත හැකි ප්‍රධානතම ක්‍රමයක් වන්නේ නිවැරදි “ස්වයං පරීක්ෂාව” මගිනි. රෝග ලක්ෂණ මතුවන තෙක් නොසිට, මසකට වරක් ඔබම සිදුකරන මෙම පරීක්ෂාව මගින් ජීවිතයත් මරණයත් අතර වෙනස තීරණය කළ හැකිය.
ස්වයං පරීක්ෂාව යනු කුමක්ද?
ස්වයං පරීක්ෂාව යනු පියයුරේ සෑම සෙන්ටිමීටරයක්ම ආවරණය වන පරිදි, අතැඟිලි භාවිතා කර රවුමක ආකාරයෙන් (අංශක 360 පුරා) පිරික්සීමයි. පියයුරේ උඩ කොටසේ සිට පහළටත්, තනපුඩුවේ සිට පිටතටත්, විශේෂයෙන්ම කිහිල්ල ප්‍රදේශය දක්වාත් කිසිදු කොටසක් මග නොහැරෙන සේ සම්පූර්ණ වටයම පරීක්ෂා කළ යුතුය.
විමසිලිමත් විය යුතු දේ :
- පියයුරේ හෝ කිහිල්ලේ ඇතිවන අසාමාන්‍ය ගෙඩි හෝ තද ගතිය.
- සමේ වර්ණය වෙනස් වීම හෝ දොඩම් ලෙල්ලක ස්වභාවය ගැනීම.
- තනපුඩුව ඇතුළට ගිලීම හෝ ඉන් අසාමාන්‍ය ශ්‍රාවයන් පිටවීම.
පියයුරු පිළිකාවක් කල්තියා හඳුනාගතහොත් එය 100% ක්ම සුව කළ හැකිය. වයස අවුරුදු 20 ඉක්මවූ සෑම කාන්තාවක්ම මසකට වරක් මෙම අංශක 360 ස්වයං පරීක්ෂාව සිදුකිරීමට හුරුවීම තුළින් තමන්ගේත්, තම පවුලේත් සතුට සුරක්ෂිත කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නිසි කලට හඳුනාගතහොත් රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පූර්ණ හැකියාව පවතී. මේ සඳහා කාන්තාවන් තමන්ගේ ශරීරය පිළිබඳව අවබෝධයෙන් සිටීමත්, මාසිකව ස්වයං පියයුරු පරීක්ෂාවක නිරත වීමත්, සැකයක් පවතී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවීමත් අත්‍යවශ්‍ය වේ.

