සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය කාර්යාලය විසින් පොලිස්පති වෙත හා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් වෙත දැනුවත් කිරීමේ ලිපි දෙකක් යවා තිබෙනවා.
ඒ අනුව එම ලිපිවල අදාල ප්‍රකාශය සහිත වීඩියෝවේ සබැඳිය ද දක්වමින් සඳහන් කර ඇත්තේ, දිලුම් අමුණුගම විසින් සිදු කරන ලද එම ප්‍රකාශය මේ වන විට විමර්ශන සිදුවෙමින් පවතින ළමා අපයෝජන සිදුවීමක් ප්‍රස්තුතව සිදුකර ඇති බවට ගම්‍ය වන බවත්, එහි දී “ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන්” යනුවෙන් සිදු කළ ප්‍රකාශය දැනට ගරු අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරයක වින්දිත දැරියට සිදුකරන ලද බරපතල වරදක් බවට නිරීක්ෂණය වන බවත් ය.
එමෙන්ම එම ප්‍රකාශය හරහා ම අදාළ බාලවයස්කාර දැරියට අවමන් වන බවත්, ඇය වාචික හිංසනයට පත් කර ඇති බවත් වැඩිදුරටත් එම ලිපිවල සඳහන් කර තිබෙනවා.
2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ II වන කොටස 3. (ඉ) හා IV වන කොටස 28. ( ඊ) වගන්ති යටතේ වින්දිත දැරියට අගතියක් සිදුව ඇති බව දැක්විය හැකි බව දක්වමින්, බාලවයස්කාර දැරියකට අවමන් කිරීම වාචික හිංසනය යටතේ බරපතල වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම ලිපි ද්විත්වය හරහා පොලිසියෙන් හා අමාත්‍යංශය වෙතින් ඉල්ලීම් සිදු කර තිබෙනවා.
කෙසේ නමුත්, අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්වරියගේ අත්සන සහිතව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් වෙත යවන ලද ලිපිය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ, ඉහත නඩුකරය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියාමනය යටතේ සිදුවන නඩුකරයක් බැවින් සහ අදාළ වින්දිත දැරිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධීක්ෂණය යටතේ පසුවන බැවින් ඒ සම්බන්ධයෙන් අදාළ කඩිනම් ක්‍රියාමාර්ග ලබා ගනිමින් දැරිය ආරක්ෂාව, සමාජයීය සහ මනෝසමාජයීය සුරක්ෂිතතාව තහවුරු කිරීමට කාරුණිකව කටයුතු කරන ලෙසයි.
