අනුරාධපුර දැරිය ලිංගික අපයෝජන සිද්ධිය: හිටපු ජනපතිනි චන්ද්‍රිකා ඇතුළු සිවිල් සමාජය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි…

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩු කටයුත්ත මැයි 22 වනදා නැවත අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව තිබේ. මේ පසුබිම තුළ, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බලපෑමකින් තොරව අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙසත්, වින්දිත දැරියට උපරිම සාධාරණත්වය ඉටු කරන ලෙසත් බල කරමින් සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සාමූහික ප්‍රකාශනයක් නිකුත් කර ඇත.

විශේෂත්වයක් වන්නේ මෙම සාමූහික ප්‍රකාශනය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය පූර්ණ සහය පළ කර තිබීමයි.

මෙය හුදෙක් එක් පුද්ගලයෙකුට පමණක් සීමා වූ නඩුවක් නොවන බව පෙන්වා දෙන සිවිල් ක්‍රියාකාරීන්, මෙරට නීතිය බලවතුන්ට සහ දුබලයන්ට එක ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න මැන බලන බරපතළ පරීක්ෂණයක් බව අවධාරණය කරති. වාර්තා වන තොරතුරුවලට අනුව වින්දිත දැරිය ඉතා කුඩා අවධියේ සිටම මෙම අපයෝජනයන්ට මුහුණ දී ඇති අතර, එය දරුවෙකුට එරෙහි දරුණු අපරාධයක් මෙන්ම ඇයව ආරක්ෂා කිරීමට අපොහොසත් වූ සමාජ ක්‍රමවේදයේ සහ ආයතනවල බිඳවැටීමක් බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

නඩුවේ එක් පාර්ශ්වයක මෙරට ප්‍රබල ආගමික සහ ආයතනික බලයක් සහිත නායකත්වයක් සිටින අතර, අනෙක් පාර්ශ්වයේ සිටින්නේ ආර්ථිකව හා සමාජීයව අතිශය අසරණ වූ, පවුල තුළින් පවා ආරක්ෂාවක් නොලැබුණු දැරියකි. චූදිත හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැක්වූ ප්‍රමාදය සහ ඉන් පසුවද උන්වහන්සේ පෞද්ගලික රෝහලක රඳවා තැබීමට කටයුතු කිරීම හේතුවෙන් නීතියේ ස්වාධීනත්වය පිළිබඳ මහජනතාව තුළ දැඩි සැක සංකා මතුවී ඇති බව සිවිල් සමාජය පවසයි.

පූජකයෙකු, ගිහියෙකු හෝ කොතරම් බලවතෙකු වුවද නීතියට ඉහළින් කිසිවෙකු නොසිටිය යුතු බවත්, මෑතකදී විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මඟින් ද යුක්තිය උදෙසා අඛණ්ඩව සටන් කිරීමේ වැදගත්කම මනාව පැහැදිලි වූ බවත් ඔවුහු සිහිපත් කරති.

එම සාමූහික ප්‍රකාශය පහත දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading