ශ්‍රී ලංකාවේ සිම් කාඩ්පත් (SIM) ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරමින්, දැනට පවතින රෙගුලාසි සංශෝධනය කිරීමට සහ පැරණි සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීම සහ 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබේ.
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019-08-02 දිනැති ව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එකී රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ වේ.
එබැවින්, 2019-08-02 දිනට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයින් පිළිබඳ තොරතුරු දුරකථන ක්‍රියාකරු සමාගම් සතුව නොමැති අතර, ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතු වලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
එමෙන්ම, වයස අවුරුදු 16 – 17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධි විධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද හඳුනාගනු ලැබ තිබේ. මෙමගින් පාසල් යන වයසේ පසුවන හෝ රැකියාවල නියුතු අවුරුදු 16ත් 17ත් අතර පසුවන තරුණ තරුණියන්ට සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇත.
ඒ අනුව, 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවතලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
