2026 අයවැය කථාව මගින් රජය දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ තම දැඩි කැපවීම යළි අවධාරණය කළ නමුත්, ඔහු එහිදී අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කළ බවට ප්‍රකාශ කළ කරුණු නොමග යවනසුළු බව වාර්තා වේ.
මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක පෙන්වාදුන් මුදල් ප්‍රතිපාදන පිළිබද ගැටලුව තවමත් පැවතීම එයට හේතුව වී තිබේ.
මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා අයවැය ඉදිරිපත් කරමින්, “දූෂණය වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මඟින් ආයෝජකයින්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා” යැයි ප්‍රකාශ කළ අතර, ඒ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ “අයවැය සහ කාර්ය මණ්ඩල ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා” යැයි ද සඳහන් කළේය.
කෙසේ වෙතත්, කොමිසම තුළ පවතින සැබෑ තත්ත්වය නම්, මෙම ප්‍රතිපාදන තිබියදීත් එහි මූල්‍ය ස්වාධීනත්වය පිළිබඳව දැඩි නීතිමය අර්බුදයක් ඇති වී තිබීමයි. මෙම ගැටලුව හටගෙන ඇත්තේ, එකිනෙකට පටහැනි නීති දෙකක් අතර ඇති වී ඇති අර්ථකථනමය ගැටුමක් හේතුවෙනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දේශපාලන වශයෙන් ස්වාධීනව වැඩ කටයුතු කරගෙන යෑමට ආණ්ඩුව ඉඩ ලබා දී තිබෙන නිසා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ප්‍රකාශ කළ නොහැකි මුත්, අයවැය ස්වාධීනත්වය තහවුරු නොකර සිටීමෙන් වැරදි පූර්වාදර්ශයක් ඇති වීමට ඉඩ තිබේ.
ස්වාධීනත්වයට එරෙහි නීතිමය ගැටුම:
මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ 2023 දී සම්මත කරන ලද අල්ලස් හෝ දූෂණ විරෝධී පනත සහ 2024 දී සම්මත කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අතර ගැටුමයි.
දූෂණ විරෝධී පනත මගින් අල්ලස් කොමිසම සියයට සියයක්ම මූල්‍යමය වශයෙන් ස්වාධීන කිරීමට අපේක්ෂා කරන ලදී. පනතේ අර්ථකථනය අනුව, කොමිසමට සිය අයවැය ඇස්තමේන්තු මුදල් අමාත්‍යාංශයට නොව, කථානායකවරයාට සෘජුවම ඉදිරිපත් කිරීමේ බලය ඇත. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසු එම මුදල් කොමිසමේ වෙනම අරමුදලකට බැර කළ යුතු අතර, කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස එම අරමුදලෙන් වියදම් කිරීමේ බලය හිමි වේ.
ඒ අනුව මුදල් ඇමතිවරයාට ඒ ඒ වර්ෂවලදී මුදල් සීමා කිරීම තුළින් අල්ලස් කොමිසම දුර්වල කිරීමට හැකියාවක් නොලැබේ.
එහෙත් මුදල් අමාත්‍යාංශය තර්ක කරන්නේ 2024 දී සම්මත වූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, 2023 දී සම්මත වූ දූෂණ විරෝධී පනත අභිබවා යන බවයි. දෙවැනි පනත යටතේ, සියලුම රාජ්‍ය මූල්‍ය ගනුදෙනු මුදල් අමාත්‍යාංශයේ ක්‍රියා පටිපාටිවලට අනුව සිදු විය යුතු අතර, අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කළ යුත්තේ මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ අනුව භාණ්ඩාගාර ලේකම්වරයාට බව මුදල් අමාත්‍යාංශය තර්ක කරමින් සිටී.
කොමිසමේ ස්වාධීනත්වය අහිමි වීමේ අවදානම:
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන රංග දිසානායක මහතා පෙන්වා දෙන්නේ, රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත බලපැවැත්වුවහොත්, කොමිසමේ මූල්‍ය ස්වාධීනත්වය මගින් සහතික කළ, පනත සම්මත කිරීමේදී අපේක්ෂා කළ අරමුණම අහෝසි වන බවයි.
දූෂණ විරෝධී පනත සම්මත වී වසර දෙකකට වැඩි කාලයක් ගත වුවද, පාර්ලිමේන්තුවෙන් අනුමත කළ මුදල් තවමත් කොමිසමේ වෙනම අරමුදල් ගිණුමට බැර කර නොමැත.
මුදල් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, සියලුම කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, වැටුප් සහ කොන්දේසි මුලින්ම අමාත්‍යාංශයෙන් අනුමත කළ යුතු බවයි. මෙම බාධා කිරීම නිසා අල්ලස් කොමිස අපේක්ෂා කළ අන්දමේ සම්පූර්ණ නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම වැළැක්වී ඇති අතර, කොමිසමට තවමත් පිටින් බදවාගත් අනුයුක්ත සේවකයන් මත යැපීමට සිදුව ඇත.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සන්ඩේ ටයිම්ස් වෙත අදහස් දක්වමින් අවධාරණය කර ඇත්තේ, මුදල් අමාත්‍යාංශය හරහා කොමිසම “පාලනය කිරීමට” දරන සියලු උත්සාහයන්ට විරුද්ධ වන බවයි. මෙම නීතිමය පටලැවිල්ල හේතුවෙන්, කථානායකවරයා විසින් නීතිපතිවරයාගෙන් මතය විමසා තිබුණද, මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැත. නීතිපතිවරයාද මුදල් අමාත්‍යාංශය විසින් ඉස්මතු කර පෙන්වන පනත බල පැවැත්වෙන බව ප්‍රකාශ කළහොත්, අවසාන විකල්පය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවනු ඇතැයි දිසානායක මහතා පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය, ජාතික විගණන පනත යටතේ මූල්‍ය ස්වාධීනත්වය ලැබීමට නියමිතව තිබූ විගණන සේවා කොමිෂන් සභාවට ද බලපා ඇත. අයවැය ස්වාධීන නොකර මුදල් අමාත්‍යාංශයේ පාලනයට නතු කර ගැනීම මගින් රජයේ ප්‍රධානතම දූෂණ විරෝධී සහ වගවීම තහවුරු කරන ආයතනවල ස්වාධීනත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරයි.
