2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර තිබෙනවා.
මෙහිදී නව පත්වීම් ලබන ආචාර්ය සී. අමරසේකර වසර 22කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇති අතර, නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට පෙර ඔහු විසින්, ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, වෙළෙඳපොළ මෙහෙයුම්, පහසුකම් කළමනාකරණ මෙන් ම සාර්ව විචක්ෂණතා අධ්‍යයන යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති තනතුරු මෙන්ම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත්, 2022 ජනවාරි මාසයේ සිට 2024 පෙබරවාරි මස දක්වා ආචාර්ය අමරසේකර ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැර සිටි අතර, මුදල් ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ලබා ඇති ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වීමට ප්‍රථමයෙන්, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලැබ තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවට අමතර ව, ආචාර්ය අමරසේකර, මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුවේ, වෙළෙඳ පොළ මෙහෙයුම් කමිටුවේ සහ අවදානම් කළමනාකරණ කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහු මේ වනවිට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.
මීට පෙර ඔහු හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙන් ම ජාතික විද්‍යා පදනමේ විද්‍යා සහ තාක්ෂණ ප්‍රතිපත්ති පර්යේෂණ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව ද සඳහන් වනවා.
මුදල් ප්‍රතිපත්තිය සහ අනෙකුත් මහ බැංකු තේමා පිළිබඳ ව ආචාර්ය ආචාර්ය සී. අමරසේකරගේ පර්යේෂණ පත්‍රිකා විවිධ ජාත්‍යන්තර සහ දේශීය පර්යේෂණ සඟරාවල පළ වී ඇති අතර, ඒවා පුළුල් පිළිගැනීමකට සහ බොහෝ පර්යේෂක උපුටා ගැනීම්වලට ලක්ව ඇති බවත්, ඔහු 2015 – 2020 කාලයේ දී මහ බැංකුවේ පර්යේෂණ සඟරාව වන මාණ්ඩලික පත්‍රිකා මාලාවේ සංස්කාරක ලෙස ද කටයුතු කළ බවත්, විවිධ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ බැංකු විදු පියෙස ඇතුළු ව විවිධ අධ්‍යයන හා වෘත්තීය ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකු, විභාග පරීක්ෂකවරයෙකු සහ ප්‍රශ්න විචාරකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කර ඇති බවත් පැවසෙනවා.
එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත්, එම විශ්ව විද්‍යාලයෙන් ම විශිෂ්ට සාමාර්ථයක් සහිත ව ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ඇති ආචාර්ය අමරසේකර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව ගෞරව උපාධිය ලබා ඇති අතර, නීතීඥවරයෙකු ද වන බවයි මහ බැංකුව ඔහුගේ තොරතුරු දක්වමින් සඳහන් කරන්නේ.

ආචාර්ය සී. අමරසේකර
තවද මෙහිදී නව පත්වීම් ලබන අනෙක් නිලධාරියා වන කේ.ජී.පී. සිරිකුමාර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර වසර 25කට අධික කාලයක් විවිධ තනතුරු දරමින් සේවය කර ඇති අතර, නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට පෙරාතුව ඔහු සහකාර අධිපතිවරයෙකු ලෙස වරින් වර, ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, තැන්පතු රක්ෂණ, මුල්‍ය අංශ නිරාකරණය, මුල්‍ය සහ අනෙකුත් ආයතනික සේවා ඇතුළු කාර්යයන් ගණනාවක් අධීක්ෂණය කළ බවයි සඳහන් වන්නේ.
කේ.ජී.පී. සිරිකුමාර බැංකු හා මූල්‍ය අංශය, මුල්‍ය වෙළෙඳ පොළ යටිතල පහසුකම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි නීති ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇති අතර, ඔහු මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා නිරාකරණ හා බලගැන්වීමේ ක්‍රියාමාර්ග මෙන් ම, බැංකුව තුළ දැඩි යහපාලන සම්මත හඳුන්වා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බව ද මහ බැංකුව සඳහන් කරනු ලබනවා.
ඔහු ජාතික ගෙවීම් කවුන්සිලයේ, මූල්‍ය ස්ථායිතා කමිටුවේ, මූල්‍ය අවදානම් කළමනාකරණ කමිටුවේ, මුල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස මෙන් ම 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ පත් කරන ලද විද්වත් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇති අතර, මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ සහ මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂකයකු ලෙස ද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ඇති කේ.ජී.පී. සිරිකුමාර කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද ලබා ඇති අතර, නීතවරයෙකු ලෙස එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමයේ සාමාජිකත්වය දරන බව ද දැක්වෙනවා.
අවසාන වශයෙන් ඔහු වත්මන් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබන අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ අනුකූලතා පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමා ද ලබා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කේ.ජී.පී. සිරිකුමාර
