ආර්ථික වශයෙන් බංකොළොත් වී ඇති රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන සහයෝගය ඉහළින් අගය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ඉන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර අගය කර ඇත. අයිඑම්එෆ් කියන ඉලක්කවලිනුත් එහාට යා යුතු බවත්, එයට ආයෝජකයන්ට හිතකර පරිසරයක් හදන්නට ඕනෑ බවත් ජනාධිපතිවරයා කියා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අතර ඔහු එම අවස්ථාවේදී එසේ ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා උපායමාර්ගික වැඩ පිළිවෙලක් රජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක ද අභිබවා යාමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයින් තවදුරටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවද අවධාරණය කළේය.
බිද වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අගය කළ අතර ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුලු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
