වසිම් තාජුඩීන්ට යම් අසාධාරණයක් සිදුවී ඇත්නම්, ඒ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර දෙන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, වත්මන් ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවති යහපාලන ආණ්ඩුවද වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවයි.
වසිම් තාජුඩීන්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාව බලහත්කාරයෙන් බොරු සාක්ෂි ලබා ගැනීමට එදා නිලධාරීන් කටයුතු කළ බවට පැවසූ නාමල් රාජපක්ෂ, එම නිලධාරීන්ම අදත් ආණ්ඩුව තුළ ඉහළ තනතුරුවල සිටින බව පෙන්වාදෙනවා.
මීට අමතරව, හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුවට අදාළව බොරු සාක්ෂි දීමට බලපෑම් කළ බවට පොලිස් නිලධාරියෙක් අධිකරණයට ප්‍රකාශ කර ඇති බවද නාමල් රාජපක්ෂ පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් බොරු හා ගුරු සාක්ෂි නිර්මාණය කරමින් ආණ්ඩුව සතුටු කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළා.
එමෙන්ම වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට කරුණු දැක්වීම විවේචනය කළ නාමල් රාජපක්ෂ කියා සිටියේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු ඉදිරිපත් කළ යුත්තේ මාධ්‍යයට නොව අධිකරණයට බවයි.
ඔහු මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ මෙම නඩුව සම්බන්ධයෙන් දේශපාලනික කතිකාවතක් ගොඩනැගීමේ අවශ්‍යතාව බවද ඔහු පැවසීය.
එමෙන්ම ඔහු සඳහන් කළේ, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක හෝ වෙනත් අය ආණ්ඩුවේ අවශ්‍යතාව මත මාධ්‍යට පැමිණ බොරු කරුණු දක්වමින් අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතුවලට අගතියක් වන අයුරින් ප්‍රකාශන කටයුතු කිරීමට සූදානම් වන්නේ නම්, ඒ පිළිබඳව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම ආණ්ඩුවට අවධාරණය කරමින් රාජපක්ෂ ඉල්ලා සිටියේ, වසීම් තාජුඩීන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකා නිර්මාණය කර ගැනීම වෙනුවට, ඔහුට යම් අසාධාරණයක් සිදුවී ඇත්නම්, ඒ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
එසේ නොකළහොත් එය ඔහුගේ ආත්මයට කරන ලොකු අසාධාරණයක් බවද නාමල් රාජපක්ෂ පවසනවා.
වත්මන් ආණ්ඩුව තමන්ව ප්‍රශ්න කරන අවස්ථාවලදී ප්‍රශ්නවලට උත්තර නොමැති විට ,එම ප්‍රශ්න යට ගසා ජනමතය වෙනත් දිශාවකට යොමු කිරීමට උත්සාහ කරන බවටද නාමල් රාජපක්ෂ එහිදී චෝදනා කළා.
‘අයිස් සතිය’, ‘රනිල් සතිය’ මෙන් දැන් ‘තාජුඩීන්ගේ සතිය’ පැමිණ ඇති බවත්, ඉදිරියේදී තවත් එවැනි ‘සති’ එළියට ගෙන ඒදැයි නොදන්නා බවත් රාජපක්ෂ පැවසීය.
නාමල් රාජපක්ෂ වැඩිදුරටත් දැක්වූ අදහස් :
“මේ ආණ්ඩුව බලයට එන්නත්, බලයට එන්න කලින් හිටපු යහපාලන ආණ්ඩුවත් මේ රාජපක්ෂලා කේන්ද්‍ර කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගුවා. අපි ගැන 2015 ඉඳන් පරීක්ෂණ කටයුතු කෙරුවා. තමන්ට මැතිවරණ වේදිකාවල කියපු කාරණා බොරු සත්‍ය කරන්න උත්සාහ කළා. අපි දැක්කා ඔය තාජුඩීන්ගේ කේස් එක සම්බන්ධයෙන් නාරහෙන්පිට ඕ අයි සී මහත්තයව ගෙනිහිල්ලා බලහත්කාරයෙන් බොරු සාක්කි කියවගන්නත් එදා හිටපු නිලධාරීන්කටයුතු කළා. ඒ නිලධාරින් ම තමයි අද ඉහළ පුටුවල වාඩිවෙලා මේ ආණ්ඩුව ඇතුලෙත් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා පහුගිය දිනවල හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්කි කියන්න බලපෑම් කරා කියලා පොලිසියෙ නිලධාරියෙක් අධිකරණයට ගිහිල්ල තියෙනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් බොරු සාක්කි හදලා ගුරු සාක්කි හදලා තමන්ගේ ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කළා. මං දැක්කා ඊයේ දිනයේදීත් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා යම් මාධ්‍යයට කරුණු දක්වනවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්විය යුත්තේ මාධ්‍යට නෙවෙයි අධිකරණයට. අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න ඕනේ කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරනවා කියන්නෙම තමන්ට මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනගන්න තියෙන උවමනාව. ඉතින් අපි අදත් ආණ්ඩුවට කියන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන්න. මේ සියලු කාරණා ගැන හොයලා බලන්න යම් කිසි කෙනෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා ඉණට අත තියන් ඉන්නවා කියලා හඳුන ගත්තනම් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහට ම ඒ ඇයගේ ස්වාමිපුරුෂයාද ඇය පහුගිය දිනවල කොහෙද ජීවත් වුණේ ? කාත් එක්කද හිටියේ කවුද ඇසුරු කළේ කියන කාරණාවත් ආණ්ඩුව සහ පොලිසිය හොයලා බලන්න ඕනේ. ඒ වගේම තමයි මේ තාජුඩීන් සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලන වේදිකාව නිර්මාණය කරගන්න මහන්සි වෙන්නෙ නැතුව ඔහු යම්කිසි අසාධාරණයකට ලක්වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සාධාරණව අපක්ෂපාතික කරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ ඔහුගේ ආත්මෙටත් කරන ලොකු අසාධාරණයක්. යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගන්න ආණ්ඩුවේ දේශපාලන වාසිය සහ ආණ්ඩුවෙ දේශපාලන අවස්ථාව ඉෂ්ට කරගන්න, දැන් පහුගිය කාලෙ අයිස් සතිය තිබ්බා රනිල් සතිය තිබ්බා. දැන් ඇවිල්ල තියෙනවා තාජුඩීන්ගේ සතිය. ඉදිරි කාලසීමාවේදී මොන මොන සති මේ ආණ්ඩුවෙන් එළියට ගෙනෙයිද දන්නේ නැහැ. අපි කියන්නේ ආණ්ඩුවට කරුණාකරලා මේ පරීක්ෂණ කටයුතු අකක්ෂපාතිව කරන්න.
ආණ්ඩුව නිරන්තරයෙන් තමන්ව ප්‍රශ්න කරන අවස්ථාවේදී ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට ඒ ප්‍රශ්න යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා අපක්ෂපාතිව පරීක්ෂණ කරන්න.සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඒ වගේම තමයි මේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වෙන්න පුළුවන් යම්කිසි වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවෙ වුවමනාව මත මාධ්‍යට ඇවිල්ලා බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොතින් අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්‍ෂණකටයුතුවලට අගතියට පත්වෙන විදියට තමන්ගේ ප්‍රකාශන කටයුතු කරන්න ලෑස්ති වෙනවා නම් ඒ පිළිබඳවත් අප ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා.
