බලපත්‍ර අවශ්‍යතා සහ බදුකරණය සම්බන්ධයෙන් Starlink සහ අනෙකුත් දේශීය විදුලි සංදේශ ක්‍රියාකරුවන්ට ඩයලොග්, හච් සහ ටෙලිකොම් යනාදී මෙරට ක්‍රියාකාරුවන්ට වඩා වෙනස් ලෙස සැලකීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.
‘ද සන්ඩේ මෝනිං බිස්නස්’ වෙත අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා විසින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බලපත්‍ර ලබා දීමේදී පැනවූ කොන්දේසි සහ ඔවුන්ට පැනවූ බදු අනෙකුත් දේශීය විදුලි සංදේශ ක්‍රියාකරුවන් මත පනවා ඇති බදු සහ කොන්දේසිවලට අතර වෙනස්කම් ඇතැයි පිළිගෙන තිබේ.
“ඔව්, Starlink සහ අනෙකුත් දේශීය ක්‍රියාකරුවන් සඳහා වන බදු සහ අනෙකුත් බලපත්‍ර අවශ්‍යතා වල යම් ආකාරයක වෙනසක් තිබෙනවා,” යනුවෙන් ඔහු කියා තිබේ.
මෙම විෂමතාවය කාලයත් සමඟ නිවැරදි කිරීමට රජය බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, වීරරත්න මහතා සඳහන් කළේ මෙය එක රැයකින් සිදු නොවන බවත්, නිසි අධ්‍යයනයක් අවශ්‍ය බවත්ය.
“දේශීය ක්‍රියාකරුවන් සඳහා වන බදු, කෙටි පණිවිඩ (SMS) සහ දත්ත වැනි විවිධ සේවාවන් සඳහා වෙනස් වෙනවා. එම නිසා, අපට හදිසියේම ඩේටා සඳහා පමණක් නව බද්දක් හඳුන්වා දීමට නොහැකියි.‘ යනුවෙන් ඔහු මේ වෙනසට පදනම් වූ හේතු පැහැදිලි කර තිබේ.
දැනට ඒ පිළිබඳ නිශ්චිත පියවරක් ගෙන නැතැයි ඔහු කියා තිබේ.
2024 ජුනි 24 දිනැතිව TRCSL අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියකින්, Dialog විසින් චෝදනා කර ඇත්තේ Starlink හට Dialog සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) වැනි අනෙකුත් ක්‍රියාකරුවන් සම්බන්ධයෙන් මෙන් පද්ධති බලපත්‍රයක් (system licence) ලබා ගැනීමට අවශ්‍ය නොවන බවත්, සංඛ්‍යාත බලපත්‍රයක් (frequency licence) යටතේ පමණක් ක්‍රියාත්මක වීමට අවසර දී ඇති බවත්ය.
Dialog විසින් පෙන්වා දී ඇත්තේ, මූලික වශයෙන් Starlink, Dialog සහ SLT හා සමානවම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන බවත්, එහි ඇති එකම වෙනස වන්නේ එහි බ්‍රෝඩ්බෑන්ඩ් සේවා චන්ද්‍රිකා හරහා ලබා දීම පමණක් බවත්ය. එවැනි පසුබිමක වෙනස් කොට සැලකීමක් ඇතැයි ඔවුන් පෙන්වා දී තිබේ.
