ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා විවිධ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිස් සේවා ලබාගන්නන්ගෙන් සහ අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 252ක මුදලක් බැරකරගෙන විවිධ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
සිද්ධියට අදාළව ඔහුව සැප්තැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනනාගර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගමගේ මහතා අද (16) නියෝග කළා.
බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂිකා තුසිතා ජයනෙත්නි මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරුට ඇප ලබාදීමෙන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සෘජු බලපෑමක් ඇති විය හැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වු තුසිතා ජයනෙත්නි මහත්මිය, ස්වාමීනි කරන ලද විමර්ශනවලදී මේ වන විට මෙම සැකකරු විසින් ලක්ෂ 252 මුදල් ප්රමාණයක් අනතීක ලෙස ඔහුගේ ගිණුම් වෙත බැර කරගෙන තිබෙන බව සඳහන් කළා.
මෙලෙස මෙම සැකකරුගේ ගිණුම් වලට මුදල් තැන්පත් කරන්නන් පිළිබඳව විමර්ශනය කර ප්රකාශ ලබා ගැනීමට තිබෙන බව සහකාර නීති අධ්යක්ෂක තුසිතා මහත්මිය අධිකරණයට දැන්වුවා.
සතිෂ් ගමගේ මහතා තම තනතුර නිලබලය පාවිච්චි කර සේවාවන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන්ගේ මුදල් අයුතු ලෙස ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශන තවදුරටත් සිදුවන බැවින් ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තුසිතා ජයනෙත්නි මහත්මිය සඳහන් තවදුරටත් සඳහන් කළේ, විමර්ශනවලදී සැකකරු විසින් රුපියල් ලක්ෂ 252ක මුදලක් නීතිවිරෝධී ලෙස තම ගිණුම්වලට බැර කරගෙන ඇති බව අනාවරණය වූ බවයි.
රාජ්ය බැංකුවක රුපියල් ලක්ෂ 250ක ණයක් එකවර ගෙවා ඇති බවත්, විටින් විට රුපියල් 10,000 සහ 50,000 වැනි මුදල් ගිණුමට බැර වී ඇති බවත් ඇය සඳහන් කළා.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් නීතීඥවරයා කියා සිටියේ, අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා සාධාරණ නැති බවයි.
සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවන පැවසූ නීතීඥවරයා කියා සිටියේ සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසයි.
දෙපාර්ශවයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරු හට ඇප ලබා දීම ප්රතික්ශේප කරමින් ඉදිරි දිනවලදී විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට නියම කළා.
නඩුව සැප්තැම්බර් 30 නැවත කැඳවනු ලබනවා.
