මානව හිමිකම් කොමිෂන් සභාව ඉතිහාසයේ විශාල ම වන්දි මුදල තීරණය කරයි.

ජිමුත් ඉඳුසර රත්නායක

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව කිසිවකුට ගෙවීම සඳහා නිර්දේශ කළ වැඩි ම වන්දි මුදල වන රුපියල් ලක්ෂ විසිපහක මුදලක්,  අගතියට පත් පාර්ශවය වෙත ගෙවීමට පසුගිය සතියේ දී නිර්දේශ කරනු ලැබුවා‍.

ඒ පොලිස් අත්අඩංගුවේ දී මියගිය අන්තෝනි ගමගේ සමන් ප්‍රීතිකුමාර යන අයගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුවයි.

පැමිණිලිකාර පාර්ශවය වන ටී.බී. ශ්‍රියානි දිල්රුක්ෂි ප්‍රියදර්ශනී යන අය විසින් මෙහි පළමු වගඋත්තරකරු ලෙස කොළඹ 01 පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක තිලංක නම් කර තිබූ අතර, එම කාර්යාංශයේ ම පොලිස් සැරයන් 8824 බාලසූරිය, පොලිස් කොස්තාපල් 9000 කලුආරච්චි, පොලිස් කොස්තාපල් 93682 අභිෂේක,  පොලිස් කොස්තාපල් 83808 විකුම් ආරියසිංහ, පොලිස් කොස්තාපල් 31996 හේරත්, පොලිස් කොස්තාපල් 924473 තිලින මධුෂාන්, පොලිස් කොස්තාපල් 61323 සංජීව සම්පත්, උප පොලිස් පරීක්ෂක තිලෝක නුවන් පිළිවෙළින් දෙවන, තුන්වන, සිව්වන, පස්වන, සයවන, හත්වන, අටවන හා නවවන වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබුණා‍.       

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12, 13(1) සහ 13(4) ව්‍යවස්ථාවන් මගින් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට නිගමනය කරමින් මෙම වන්දි මුදල ගෙවීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාව නිර්දේශ කළ අතර, වගඋත්තරකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඔවුන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පති විසින් කටයුතු කළ යුතු බව ද අවධාරණය කරනු ලැබුවා.

තම නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා වන අන්තොනි ගමගේ සමන්ත ප්‍රීතිකුමාර යන අය ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ කළමනාකරණ සහායක ලෙස සේවය කළ බවත්, ඔහුව 2023.01.10 වන දින පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ව රඳවා තබා ගනිමින්,  කෲර ලෙස වධහිංසනයට ලක් කර මරණයට පත් කර ඇති බවට 2023.01.12 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ටී.බී. ශ්‍රියානි දිල්රුක්ෂි ප්‍රියදර්ශනී යන අය ගොනු කළ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව එම පැමිණිල්ල හේතු කොට ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් තම බලතල ප්‍රකාර ව 2023.01.13 වන දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.  

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම හා මරණය පිළිබඳ ව චෝදනා එල්ල වුණු වගඋත්තරකාර පාර්ශවය සඳහන් කළේ,  අන්තෝනි ගමගේ සමන් ප්‍රීතිකුමාර යන අය “පොඩි ලැසී” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයෙකු බවට වන ඔත්තුවක් පෞද්ගලික ඔත්තුකරුවෙකු මාර්ගයෙන් තමා වෙත ලැබුණු බව හා ඒ අනුව සිදු කළ අත් අඩංගුවට අනතුරුව සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත් ද්‍රව්‍ය හා මත් ද්‍රව්‍ය ජාවාරම් තුළින් උපයා ගන්නා බවට සැක කරන රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් හමු වූ බවයි.

ඉන් අනතුරුව සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තවත් තොරතුරු හෙළි කිරීමට තමා නිදහස් ස්ථානයකට ගෙන යන ලෙසට කළ ඉල්ලීම මත ඔහුව නෙළුම් කුළුණ අසල තම නිලධාරි බැරැක්කයට ගෙන ගිය බවත්, එහි දී බහිස්ශ්‍රාවීය කටයුත්තකට යෑමට කියා එක් අතක මාංචු නිදහස් කිරීමෙන් අනතුරුව පහර දීමට තැත් කළ බවත්, ඒ හේතුවෙන් ආත්මාරක්ෂාව සඳහා සැකකරුට පහර එල්ල කිරීමෙන් පසුව ඔහු කෝච්චි පාරක් දිගේ දුව ගිය බවත් සඳහන් කළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්, එසේ පළා යන තැනැත්තා පොර බැද අල්වා ගැනීමේ දී සිහිසුන් වූ බවත්, ඉන් අනතුරුව ක්ෂණික ව කොළඹ ජාතික රෝහලට ගෙන ගිය අතර, එහි දී මරණයට පත් වූ බවත් කොමිෂන් සභාව ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියා.

නමුත් කොමිසම විසින් සිදු කරන ලද විමර්ශනයේ දී පැහැදිලි වී ඇත්තේ, පෞද්ගලික ඔත්තුකරුවෙකු මාර්ගයෙන් ලැබුණා යැයි කියන තොරතුර සාධාරණ තොරතුරක් ද යන්න තහවුරු කර ගැනීමට වගඋත්තරකාර පාර්ශවය කටයුතු කර නොමැති බවයි.

තව ද එම ලැබුණායැයි කියන තොරතුර ලද පසුව සිදු කළ යුතු නියමිත සාමාන්‍ය ක්‍රමවේදය ද මෙම සිදුවීමට අදාළ ව සිදු නොවුණු බවයි කොමිෂන් සභාව වෙත නිරීක්ෂණය වී ඇත්තේ.

වගඋත්තරකාර පාර්ශවය විසින් සඳහන් කරන පරිදි මෙම මියගිය තැනැත්තා අත්අඩංගුවට ගැනීමේ දී බීමත් ව සිට ඇති අතර, අත්අඩංගුවේ සිටිය දී පැන යාමට උත්සාහ කිරීමෙන් පසු පොර බදා අත්අඩංගුවට ගත් බව කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබූ නමුත්, මෙම වධහිංසාව සම්බන්ධ ප්‍රබල ම විද්‍යාත්මක සාක්ෂිය වන අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් සමන්ත ප්‍රීතිකුමාර යන අයගේ තුවාල 49 ක් හඳුනා ගැනීමට හැකි වූ බව දක්වා තිබුණා.

එහි සඳහන් කර තිබුණේ,  මොට ආයුධයකින් සිදු වූ බහු මෘදු පටක තුවාල හේතුවෙන් ඇති බූ රක්තපාත කම්පනය මෙම මරණය සඳහා හේතු වන බවයි. අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් දක්වා තිබුණේ, තුවාලවල ආකාරය අනුව ඒවා හිතාමතා සිදු කළ බව පිළිබිඹු වන බව හා මෙම මරණය සඳහා ස්වාභාවික රෝගී තත්ත්වයක් හේතු වූ බවට සාක්ෂි නොමැති බවයි.

වගඋත්තරකාර පාර්ශවය සැකකරු බීමත් ව සිටි බව සඳහන් ක‍ළ නමුත් මරණයට පෙර ඇල්කොහොල් භාවිතය හෝ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ බවට සාක්ෂි නොමැති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ව තිබුණා.

ඒ අනුව කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයේ දී හෙළි වී තිබුණේ, වින්දිත තැනැත්තාට බරපතල තුවාල 49 ක් ඇති වීමටත් අනෙකුත් නිලධාරීන් 8 දෙනාට ඊට සමානුපාතික ව කිසිඳු තුවාලයක් ඇති නො වීමත් ප්‍රශ්න සහගත වන බවයි.

වගඋත්තරකාර පාර්ශවය විසින් ම පිළිගනු ලැබ ඇති අයුරින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයට ගෙන යාමෙන් තොර ව වෙනත් ස්ථානයකට රැගෙන යාම හරහා මෙන්ම අත්අඩංගුවට ගැනීම පිළිබඳව වැටලීම් භාර නිලධාරි දැනුවත් නො කිරීම හරහා 2747/2023 පොලිස්පති චක්‍රලේඛනයේ 5.1, 5.6, 5.7 වගින්ති අනුව වගඋත්තරකාර පාර්ශවය ක්‍රියා නොකළ බවට කරුණු නිරීක්ෂණය වී තිබූ අතර,  සැකකරු තම භාරයේ සිටිය දී ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සිදු නො කිරීම හේතුවෙන් ද නෛතික ප්‍රතිපාදන නිසි ආකාරව ක්‍රියාත්මක කර නොමැති බව ද  නිරීක්ෂණය වී තිබුණා.

කෙසේ නමුත් කරුණු කාරනා සියල්ල සලකා බැලීමෙන් අනතුරුව අදාළ වින්දිත පාර්ශවයේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දක්වා සිටි අතර,  ඒ අනුව පළමුවන වගඋත්තරකරු විසින් ලක්ෂ දහයක්,  නවවන වගඋත්තරකරු විසින් ලක්ෂයක් හා අනෙකුත් වගඋත්තරකරුවන් විසින් ලක්ෂ දෙකක් වන ලෙස ලක්ෂ 25 ක සම්පූර්ණ වන්දි මුදලක් පැමිණිලිකාර පාර්ශවය වෙත ගෙවීමට නියම කරනු ලැබුවා.

මෙම තීන්දුව දක්වමින් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දක්වා සිටි වැදගත් ම කරුණ නම් පුද්ගලයන් අත්තඩංගුවේ සිටිය දී මියයාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීම සඳහා සුදුසු නිලධාරියෙකු පත් කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවසාන වශයෙන් දක්වා සිටියේ මෙකී නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් කොමිෂන් සභාවට මෙම වසරේ අගෝස්තු 28 වන දිනට පෙර ලැබීමට සලස්වන ලෙසයි.

Author

Related Posts