ශානිගේ නම ප්‍රගීත් නඩුවට දාලා! තවත් සාක්ෂිකරුවෙකුට තර්ජනත් කළ බව කියලා!

ෆසීර් මොහොමඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස, මෙම සිද්ධියේ ප්‍රධාන විමර්ශන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ, එවකට සහකාර පොලිස් අධිකාරීවරයෙකු වූ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂවරයා වන ශානි අබේසේකර නම් කර ඇත. ඔහු 109 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති බව ජූලි 16 වැනිදා අධිකරණයේදී අනාවරණය විය.

එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය, විනිසුරු නාමල් බලල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහේන් වීරමන් සහ සුජීව නිශංක යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විශේෂ මහාධිකරණ ගොඩනැගිලි සංකීර්ණයේදී විභාගයට ගැනිණි.

මෙහිදී එක්නැලිගොඩ සිද්ධියේ විත්තිකරුවන් වන කිරිතලේ යුද බුද්ධි අංශ කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සම්මි අර්ජුන කුමාරරත්න බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර සිටි අතර, ස්ටාෆ් සාජන්ට් වඩුගෙදර විනිප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, ස්ටාෆ් සාජන්ට් ආර්.එම්.පී.කේ. රාජපක්ෂ නොහොත් නාදන්, ස්ටාෆ් සාජන්ට් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි, චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කනිෂ්ක කුමාර අබේරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, කේ.ජී. තරංග ප්‍රසාද් ගමගේ, එරන්ද පීරිස් යන අය අධිකරණයේ පෙනී සිටියහ.

ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න ඇතුළු රසික බාලසූරිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා පෙනී සිටියේය.

4 වන සාක්ෂිකරු වන තර්ජනයට ලක්ව ඇති මුරලි වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල් පෙනී සිටියේය. අගතියට පත් පාර්ශවය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙනී සිටියේය.

මෙහිදී 8 වන සාක්ෂිකරු වන එක්නැලිගොඩ සමඟ සම්බන්ධව කටයුතු කළ චිත්‍රපට අධ්‍යක්ෂ ලක්ෂ්මන් වසන්ත කුමාර කුලතුංග, නඩුවේ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ සේවය කර පසුව යුද බුද්ධි අංශය සමඟ එක්ව කටයුතු කළ දැනට විදේශගතව රැකියාව කරන 40 වන සාක්ෂිකරු වන මයිල්වාගනම් සිවකුමාර්, 71 වන සාක්ෂිකරු වන යුද හමුදාවේ ඉන්ධන සැපයුම් අංශයේ අක්කරපත්තුව මධ්‍යස්ථානයේ සේවය කර විශ්‍රාම ලැබූ යුද හමුදා සාජන්ට් සම්පත් කුමාර වීරසිංහ යන අයගේ සාක්ෂි සටහන් කර ගන්නා ලදි.

මේ ශානි ඒ ශානිමද?

මෙම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අවසන් වූ පසු, පීඩාවට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, අධිකරණයෙන් විශේෂ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේය.

2022 නොවැම්බර් 22 වන දින, මෙම නඩුවේ සාක්ෂි ලැයිස්තුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළත් කරන ලෙස තමන් ඉල්ලා සිටි බවත්, එවකට අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඒ සඳහා කටයුතු කරන බව පැවසූ නමුත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් අධිකරණය ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දිය යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරු නාමල් බලල්ලේ මහතා ස්වාධීන විනිසුරු මඩුල්ලක් ලෙස එලෙස නියෝග කළ නොහැකි බවත් එයට නීති ප්‍රතිපාදන නොමැති බවත් පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා, මෙම නඩුවට තවත් කිහිප දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට කටයුතු කරන බවත්, ශානි අබේසේකර මහතා ද ඒ අවස්ථාවේදී සාක්ෂිකරුවෙකු ලෙස ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

මෙහිදී අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයෙකු වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම, දැනටමත් සාක්ෂි ලැයිස්තුවට ශානි අබේසේකර මහතාගේ නම අතුරු අයදුම්පතක් හරහා ඇතුළත් කර ඇති බව පෙන්වා දුන්හ. එය සලකා බැලූ විනිසුරු සුජීව නිශ්ශංක මහතා, සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ නම සාක්ෂි ලැයිස්තුවේ 109 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති බවත්, පීඩාවට පත් පාර්ශවය පවසන ශානි අබේසේකර ඔහුදැයි නොදන්නා බවත් සඳහන් කළේය.

ඒ අනුව වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වන ශානි අබේසේකර මහතාගේ නම දැනටමත් සාක්ෂි ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව තහවුරු විය.

තවත් සාක්ෂිකරුවෙකුට තර්ජන

අනතුරුව තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, මෙම නඩුවට අදාළව 3 වන සාක්ෂිකරු රන්බණ්ඩා නොහොත් රසික සහ 4 වන සාක්ෂිකරු මුරලි යන අයගේ සාක්ෂි ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය.

ඒ අනුව රන්බණ්ඩා මහතා 2021.08.19 දින සහ 2021.10.08 දින සාක්ෂි ලබා දී ඇති බවත් මෙම අධිකරණය හෝ ඊට ඉහළ අධිකරණයකදී හැර වෙනත් තැනකදී සාක්ෂි ලබා නොදිය යුතු බවට නියෝගයක් ඇති බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කළේය. එසේ තිබියදී ඔහු උදාලි අබේරත්න ජනාධිපති කොමිසම හමුවේ 2021.10.18 දින සාක්ෂි ලබා දුන් බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තමාට තර්ජන ඇති බවට ඔහු දැනටමත් නිකවැරටිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇති බවද කීවේය.

පැමිණිලිකාර පාර්ශවයට අහිතකර සාක්ෂිකරුවන් ලෙස 3 වන සාක්ෂිකරු සහ 4 වන සාක්ෂිකරු දැනටමත් නීතිපතිවරයා විසින් නම් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් සිව්වන සාක්ෂිකරුට එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නා සේම, 3 වන සාක්ෂිකරුට ද තර්ජන එල්ල වී තිබේද යන්න විමර්ශනය කරන ලෙස ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම ඉල්ලා සිටියේය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා කරුණු ඉදිරිපත් කරමින්, 4 වන සාක්ෂිකරු, සාක්ෂිකරුවන් සහ පීඩාවට පත් වූවන් සම්බන්ධයෙන් වන ආරක්ෂක අධිකාරියට විධිමත් ලෙස පැමිණිලි කර ක්‍රියාමාර්ග ඉල්ලා ඇති බව සඳහන් කළේය.

අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක්

මෙහිදී විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරු නාමල් බලල්ලේ මහතා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමගෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන පරිච්ඡේදය යටතේ විමර්ශනයක් නියෝග කිරීමට මෙම අධිකරණයට බලයක් තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ඒ යටතේ නියෝග කළ නොහැකි බව තමන් දන්නා බවත්, සාධාරණය ඉටු කිරීම සඳහා එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

මෙහිදී එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට දැනුම් දීමට අධිකරණය උපදෙස් ලබා දුන් අතර, 3 වන සාක්ෂිකරුට තර්ජන එල්ල වී තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා එකඟ විය.

මෙම නඩුව එළඹෙන ජූලි 18 වන දින නැවත විභාගයට ගැනීමට නියමිතය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading