බුද්ධිමය දේපළ පිළිබඳ ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදෙමින්, ටොරානා මියුසික් හි සරත් කොතලාවලට එරෙහිව ප්‍රවීණ සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.
ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන් ගායනා කළ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත සීඩී තැටි ලෙස නිෂ්පාදනය කොට විකිණීම තුළින් තම දිවංගත සැමියාගේ ගී පද රචනා සහ සංගීත නිර්මාණකරණයෙහි බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට 2005 වර්ෂයේදී ශීලා විජේවර්ධන මැතිණිය ගොනු කරන ලද නඩුවක අභියාචන විභාගයේදී මෙම තීන්දුව ලබා දී තිබේ.
මීට පෙර විජේවර්ධන මහත්මිය වාණිජ මහාධිකරණයේ ගොනු කළ නඩුවේදී, කොතලාවල මහතාට සහ සෙබස්තියන් මහතාට එරෙහිව වාරණ නියෝගයක්, වන්දි මුදල් සහ ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කරමින් නිපදවූ ගීත භාර දෙන ලෙස ඉල්ලා තිබුණි. වාණිජ මහාධිකරණයේ නඩුව විභාග වෙමින් තිබියදී, සෙබස්තියන් මහතා දිවංගත ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගෙන රුපියල් මිලියන 2ක වන්දියක් ගෙවීමට එකඟ වෙමින් විජේවර්ධන මහත්මිය සමඟ සමථයකට පත් විය. නඩු විභාගය අවසානයේදී වාණිජ මහාධිකරණය කොතලාවල මහතාට එරෙහිව විජේවර්ධන මහත්මියට පක්ෂව ස්ථිර වාරණ නියෝගයක් දී තිබුණි.
කෙසේ වෙතත්, මෙම නඩු විභාගයෙන් පසු ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් 2013 දී අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. ඒ ක්ලැරන්ස් විජේවර්ධනගේ බුද්ධිමය දේපළ යොදා ගනිමින් නිර්මාණය කළ නිර්මාණවල අයිතිය තමන් වෙත පැවරීම ඇතුළු, වාණිජ මහාධිකරණයේදී ලද තීන්දු කිහිපයක් ගැන සහන ඉල්ලා සිටිමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය, සරත් කොතලාවලට එරෙහිව ස්ථිර වාරණ නියෝගයක් ලබා දීමට වාණිජ මහාධිකරණය ගත් තීරණය ස්ථිර කළ අතර, ඉන් එහා ගොස් වාණිජ මහාධිකරණයෙන් ලබා නොදුන් නව සහන ලබා දීමට තීන්දු කරන ලදී.
ඒ අනුව, ශීලා විජේවර්ධන සතු බුද්ධිමය දේපළක් ලෙස එලෙස නිර්මාණය කළ ගීත ඇතුළත් සීඩී තැටිවල අයිතිය ඇය වෙත පැවරිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව එලෙස බුද්ධිමය දේපළ උල්ලංඝනය කරමින් කළ නිර්මාණ අලෙවි කරන්නේ නම් ඒවායේ ආදායම් ඉපයීමේ අයිතිය ක්ලැරන්ස් විජේවර්ධනගේ උරුමකාරිය ලෙස ඇයට හිමි වේ. ඒ අනුව නීතිවිරෝධීව නිෂ්පාදනය කළ රජීව් සෙබෙස්තියන්ගේ එම නිර්මාණ මින් ඉදිරියට ශීලා විජේවර්ධන මහත්මිය සතු වනු ඇත.
විජේවර්ධන මහත්මිය වෙනුවෙන් ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා PC, නීතිඥ කුෂාන් ඉලංගතිලක මහතා සමඟ V.W. කුලරත්න ඇසෝසියේට්ස් වෙතින් පෙනී සිටියේය. කොතලාවල මහතා වෙනුවෙන් M.S.A. වඩූඩ් මහතා, පාලිත සුබසිංහ, තරංගා එදිරිසිංහ, හෂාන් මල්ලවආරච්චි, සහ දුල්මිණි ලියනගේ නීතිඥයන් S.B. දිසානායක ඇසෝසියේට්ස් වෙනුවෙන් පෙනී සිටියේය.
ක්ලැරන්ස් විජේවර්ධන සහ ශීලා විජේවර්ධන ආදර කතාව රැගත් ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටි දැන් සිනමාහල්වල තිරගත වේ.
ශීලා ගැන කතු සටහනක්-
ශීලා රාමදාස හෙවත් ශීලා විජේවර්ධන එක්ක කරපු සාකච්ඡෘවක් 2024 මාර්තු මාසයේදී මහරු ටීවී කියන යූටියුබ් නාළිකාවෙන් කරලා තිබුණා. ඒ ඇය ලංකාවට පැමිණි වෙලාවක. බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ කතාවට මේ කෙටි සටහන ඒ සාකච්ඡාව ඇසුරෙන්.
ශීලා රාමදාස, ශීලා විජේවර්ධනගේ අසල්වැසි ගෙදරට 1964 දී ක්ලැරන්ස් විජේවර්ධන ආවා. ක්ලැරන්ස් ඇවිත් මාසයක් ඇතුළත පෙම් ලියුමක් දරුවෙකුගෙ අතේ එව්ව බව කියනවා. ගෙදර වැඩ කරපු ළමයෙක් අතේ එව්වාලු. ලියුම ගත්තේ නැහැ ශීලා. ඊට පස්සේ පුච්චලා විසිකළාලු. මුලින් කැමති වුණේ නැහැලු. සුදු මැණිකේ මගෙ මැණිකේ කියන සිංදුව ලිව්වාලු. ප්‍රේමයේ හැම පුංචි තැනකදීම ගීත ලියූ බව ශීලා රාමදාස කියනවා.
මුලින්ම ආදරේ අහිමි වුණාම. සුදු මැණීකේ සිංදුව ලීවා වගේ, එයින් පස්සේ හැම පොඩි දෙයකදීම ගීත ලිව්වාලු.
ගෙදර අය කැමති වුණේ නැහැ. කතා කරනවා දැක්කත් ගෙදරින් බණිනවා. ගෙදරින් අකමැති වුණේ ක්ලැරන්ස් සංගීතය කරපු නිසාලු. සංගීතය කරපු අයව ගණං ගත්තේ නැහැලු. රස්සාවක් කළේ නැහැ වගේ හේතු කිව්වාලු. අවුරුදු අටක් ලව් කරලාලු බැන්දේ. ඒ ශීලාගේත් හිතුමතේට.
මංගො නැන්දා කියන්නේ ප්‍රේමය අහිමිවීම නිසා හැදූ ගීයක්ලු. මංගො නැන්දා කියන්නේ ගෙදර වැඩ කරපු කෙනෙක් බව කියනවා. ක්ලැරන්ස්ගේ ආදරයට බාධා කරපු නිසා මංගො නැන්දාට සිංදුව ලිව්වාලු. ඇනෙස්ලි වෙලාවක කියල තියෙනවා, එයා දන්නෙත් නෑ, සිංදුව ප්‍රැක්ටිස් කරද්දී එහා පැත්තෙන් කුණුහරුප ඇහුණලු.
මහරගම සහෝදරියකගෙ ගෙදරදී අප්රසිද්ධියේ විවාහ වුණාලු. ක්ලැරන්ස්ට ඒ කාලයේ හැමෝම විජේ කියලාලු කිව්වේ.
ඒත්, කතාවේ ලස්සනම කොටස තමයි ක්ලැරන්ස්ගේ බිරිඳ වෙනුවෙන්ම හැදූ ගීත බොහොමයක් තියෙනවා. ක්ලැරන්ස්ගේ නිර්මාණ ජීවිතයට පිටින් නෙවෙයි, ඒ ජීවිතේ එක්ක බද්ධ වෙලායි ක්ලැරන්ස්ගේ නිර්මාණ හැදිලා තියෙන්නේ. හැම සිංදුවක්ම හැදුණේ ඇයිද කියලා දන්න බව කියනවා. ගොයම් කපනවා මැණිකේ, කිමද නාවේ, පෙම් කතාව යනාදී සිංදු හැදිලා තියෙන්නේ ඇය වෙනුවෙන් බව කියනවා. කිමද නාවේ කියන සිංදුව හැදුණේ වතාවක් ශීලා නොආ නිසා බවත් කියනවා. ක්ලැරන්ස් කතා කරන විදියත්, තව බොහෝ දේවලුත් නිසා ඔහු තමන්ට ගොඩක් ආදරය කරන බව හිතුණ නිසා ශීලා ක්ලැරන්ස්ට කැමති වුණාලු. ක්ලැරන්ස්ට තරහ යනවාලු. ඒත්, තරහා විනාඩි පහක්වත් තිබුණේ නැති බව කියනවා.
