කිඹුලාවල ප්‍රදේශයේ මාර්ග දෙපස පිහිටා තිබූ වෙළඳසල් ඉවත් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ජුලි 11 වැනිදා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා.
එහිදී එම ඉදිකිරීම් නීතිවිරෝධී බවට පවසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් විසින් වෙළඳසැල් ඉවත් කිරීමට උත්සාහ කර තිබෙනවා. මීට පෙර 2023 දී මෙලෙසම වෙළඳසැල් ඉවත් කිරීමට උත්සාහ ගත් අතර, එයට එම අවස්ථාවේදීම එරෙහි වී තිබුණා. පෙබරවාරි 24 වන විට එම ඉදිකිරීම් ඉවත් කරන ලෙසත්, ඒවා නීතිවිරෝධී බවත් කියමින් නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත් වූ නමුත් ඒවා ඉවත් කිරීමට හැකි වුණේ නැහැ. පෙබරවාරි 21 වැනිදා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කළ විමසීමකදී එවකට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා තිබුණේ වෙළඳසැල් ඉවත් නොකරන බවත් ඒවා විධිමත් කරන බවත්.
කෙසේ වෙතත්, ජුලි 11 වැනිදා පැමිණ සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් නොව, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීනුයි. එම නිලධාරීන් පිරිස විසින් වෙළඳසැල් කිහිපයක් කඩා ඉවත් කර එහි තිබූ භාණ්ඩ ලොරියක පටවා ගෙන යාමත් සමඟ වෙළෙඳුන් හා නිලධාරීන් අතර උණුසුම් තත්වයක් හට ගැනුණා.
එම තත්වය පාලනය කිරීම සඳහා පොලිසියද එම ස්ථානයට පැමිණි අතර, සිදුවූ අර්බුදය අඩු කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.
ඇති වූ උණුසුම් තත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ලොරියට පටවාගත් භාණ්ඩ නැවත වෙළෙඳුන් වෙත ලබාදීමටද කටයුතු කර තිබුණා. එහිදි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කියා ඇත්තේ මෙම වෙළඳසැල් නීතිවිරෝධී බවයි. මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය සතු දේපළ බව ඔවුන් කියා තිබුණා. ඒ අනුව ඒවා නීතිවිරෝධී බවට නිත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කර පසුව ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.
කිඹුලාවල වීදි වෙළඳසැල් 30කට වැඩි ප්‍රමාණයක් පවතින අතර පවුල් 150කට වැඩි ප්‍රමාණයක් ඒවායින් ජීවනෝපාය සොයා ගන්නවා. කිඹුලාවල වීදි වෙළඳසැල් ආරම්භ කළ අය අතරින් බොහෝ පුද්ගලයන් එම ස්වයං රැකියාවලට යොමු වීමට හේතුව වූයේ කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ ආර්ථික අර්බුදයයි. විවිධ පෞද්ගලික අංශයේ ඉහළ රැකියා කළ පුද්ගලයන් පවා සිය නිවෙස්වලදී පිසගත් ආහාර ගෙනැවිත් පුද්ගලික වාහන නවතාගෙන ආහාර අලෙවි කරමින් මෙම ප්‍රදේශයේ වීදි ආහාර අලෙවි කිරීමට පටන්ගෙන තිබුණා.
එයින් පසු විවිධාකාර ආහාර වර්ග විකුණමින් නිර්මාණශීලී ලෙස මෙම වෙළෙන්දන් තමන්ට හැකි ආකාරයෙන් අර්බුද සමයන් හමුවේ ආර්ථිකයට දායක වෙන්නට පටන් ගත්තා. එය කිසිවක් නොකර නිවසට වී සිටිනවාට වඩා යහපත් දෙයක් ලෙස සැලකිය හැකියි. මේ අතර කිඹුලාවල වීදි ආහාර වටා සංස්කෘතියක් ආරම්භ වූ අතර එහි ආහාර ගැනීම සංස්කෘතිකාංගයක් බවට පත් වී තිබුණා.
ඔවුන් දිගින් දිගටම කියා තිබුණේ තමන් සොරකම් නොකළ බවත්, වංචා කර නොමැති බවත් තමන් කරන රැකියාව කරගෙන යෑමට ඉඩ දෙන ලෙසත්. ඔවුන් ආවේගශීලී සහ කළහකාරී ලෙසද හැසිරෙන අයුරු දක්නට ලැබුණා.

