වියදම් වුණු මුදල අපිට ගෙවන්න –  අදානි සමාගමෙන් රජයට බලපෑම්

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට යෝජිතව තිබූ ඩොලර් බිලියන 1 ක පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වීමට තීරණය කළේ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලීන් ට අදාළ ගැටලු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් සමග මතුව ඇති ප්‍රමාදය ආදී කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් එසේ ඉවත් වීමෙන් පසුව අදානි සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් නැවත ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත මේ වන විට බලපෑම් කරමින් ඇති බව ඩේලි මිර(ර්) වෙබ් අඩවිය වාර්තා කරනවා.

ජාතික ජන බලවේගය ප්‍රමුඛ නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දූත පිරිස නවදිල්ලි නුවර කළ සංචාරයේ දී,  අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර, එහි දී අදානි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ගාස්තු ඉතා ඉහළ බව ජනාධිපතිවරයා දැඩි ලෙස පවසා තිබුණා.

මෙම ව්‍යාපෘතිය විසින් 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350 ක් එකතු කිරීමට අපේක්ෂා කරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් කළ වියදම් ප්‍රතිපූරණය කරන ලෙස ඉල්ලා අදානි සමාගමේ බලධාරීන් මෙම වසරේ මැයි මාසයේ දී රජය වෙත ලිපියක් යවා ඇති බවයි පවසන්නේ.

කෙසේ වෙතත්, අදානි සමාගම තවමත් ගෙවිය යුතු මුදල නිශ්චිතව දක්වා නොමැති අතර,  එය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 3 ඇතුළුව සියලු වියදම් ආවරණය වන පරිදි තක්සේරු කළ යුතු බව දැක්වෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තවමත් මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර, වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ විට ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, “කිසියම් ගෙවීමක් කරන්නේ නම්, එය කැබිනට් අනුමැතිය හරහා පමණක් සිදු කරනු ලබන බව”යි.

Author

Related Posts