පොලිසිය නිර් – දේශපාලනීකරණය සහ මාලිමා රාජ්‍ය පාලනය

හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

පොලිසිය දේශපාලනයෙන් තොර ස්වාධීන ආයතනයක් කළ යුතු බවට ප්‍රබල හඬක් නැගූ දේශපාලන බලවේගයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ අවිවාදිත ව හැදින්විය හැක.

ඒ 1999-2001 චන්ද්‍රිකා සමග හවුලේ ආණ්ඩු කල කාලයේ ය. 17 වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙන එමින් ඒ යටතේ ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැඩි ගෞරවය ජ.වි.පෙ. ට හිමිවිය යුතු ම ය.

දැන් මෙරට පාලන බලය හොබවන්නේ ඒ ජ.වි.පෙ. ම දිගුවක් වන මාලිමාව යි. වෙනසකට ඇත්තේ ජ.වි.පෙ. දේශපාලන දර්ශනයට පූර්ණ ලෙස ම තමන් එකඟ නැතැයි ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදි මෙන්ම ලිබරල් දේශපාලනය ගුරුකොට සලකන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර වැනි කොටසක් මාලිමා පාක්ෂිකයන් ලෙස රජයට එක්ව කටයුතු කිරීම පමණය. මේ අතර තම දේශපාලන දර්ශනයට අනුව තමන්ගේ “පාපිස්සට” වත් නොගන්නා පිරිසක් ද සිටින බව ජනාධිපති වරයා ම වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ද සමහර විට මෙම දේශපාලන ප්‍රවාහය තුල සිටින නො ගැලපීම් ගැන වීමට ඇති සම්භාවිතාව ද අපට පහසුවෙන් බැහැර කල නො හැක.

මේ අතර ජ.වි.පෙ. ප්‍රධාන චරිතයක් සේ ම වර්තමාන මාලිමා රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ද හොබවන ලාල් කාන්ත අමාත්‍යවරයා වරක් ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයක් තමන් පෞද්ගලික ව නො හදුනන බවත් ඒ අතර එ.ජා.ප, පොහොට්ටු, ස.ජ.බ පාක්ශිකයන් ද සිටිය හැකි බවය.

ඉහතින් සඳහන් කළ කරුණු කාරණා සලකා බැලීමේ දී වර්තමාන රාජ්‍ය පාලනය පිරිසිදු ජ.වී.පෙ දේශපාලන දර්ශනයෙන් පීලි පනිමින් සමහර අවස්ථාවල පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මහමැතිවරණයේදී ද ජනතාව ප්‍රතික්ෂේප කරන ලද “මජර දේශපාලන” ය දෙසට ගමන් කරන්නේ ද යන කුකුස ජනතාව තුල ඇතිවීම අද වන විට නො වැළැක්විය හැකි තත්වයක් බවට පත්වෙමින් පවතී.

මෙම තත්වයට ආසන්නත ම සිදුවීම වන්නේ කලුතර දිස්ත්‍රික්ක මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු තම හිතවතකු බව කියන නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධව එම මන්ත්‍රීවරයා විසින් අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූ පොලිස් සැරයන්වරයාට දුරකථනයෙන් තර්ජනය කිරීම සහ තර්ජනයට ලක් වූ තම යටත් නිලධාරියකු වෙනුවෙන් නීත්‍යානුකූල ලෙස පෙනී සිටීමේ වරදට වැලිපන්න පොලිස් ස්ථානාධිපතිවරයා දේශපාලන ගිලටිනයට හසුකර ඔහුගේ පොලිස් ස්ථානාධිපති තනතුර ගලවා කාර්යය නියමයක් නොමැති තනතුරකට ඇල්පිටිය පොලිස් ස්ථානයට ස්ථානමාරු කර හැරීමයි

මෙහි වඩාත් ම හාස්‍ය දනවන තත්ත්වය වන්නේ මෙම සිදුවීම සවිස්තරාත්මක ව ජනමාධ්‍ය මඟින් වාර්තා කර තිබියදීත් ස්වාධීන පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය අනුමත කර එම ස්ථාන මාරුව සිදු කිරීමයි. මෙහි දී වැඩබලන පොලිස්පතිවරයා මෙන්ම ස්වාධීන පොලිස් කොමිසමේ කාර්යභාරය සම්බන්ධව ද පොලිස් නිලධාරීන් මෙන්ම සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කරන අප වැනි හූදී ජනතාව තුල ඇති වන සැකය පහසුවෙන් බැහැර කල හැක්කක් නොවේ.

මෙම දඩුවම් ස්ථානමාරුව හේතුවෙන් දැනට සේවයේ යෙදී සිටින සියලුම පොලිස් නිලධාරීන් වෙත ඉතා අයහපත් පණිවිඩයන් සන්නිවේදනය වීම සිදුවේ.

එම පණිවිඩය වන්නේ “වැඩියෙ දගලන්න එපා දැක්කද වුනදේ” යනුයි.

එසේ ම තමන් හරියාකාරව රාජකාරිය සිදු කලහොත් තමන්ගේ ආරක්ෂාවට ස්වාධීන පොලිස් කොමිසම නිරතුරැවම පෙනී සිටින බවට ඔවුන් තුල වූ වෘත්තිමය රක්ෂණයද මේ හේතුවෙන් නිෂේධ වීම සිදුවේ. මෙම තත්වයන් දෙකම සමාජයට ඇති කරන ඍණ බලපෑම ඉතා නරක ප්‍රවනතාවයක් බව සදහන් කළ යුතුය.

මෙම සිද්ධියේ දී ශිෂ්ඨ සම්පන්න නව දේශපාලන සංස්කෘතියක් ගැන මැතිවරණ සමයේ දී ජනතාවට ප්‍රතිඥා දුන් රජයක් ලෙස කළ යුතුව තිබුණේ විනිවිද භාවයෙන් යුත් ස්වාධීන පරික්ෂණයක් පවත්වා එම පරික්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කර ඒ අනුව පොලිස් නිලධාරීන් වැරදි කර ඇත්නම් ඒ අනුවත්, දේශපාලනඥයා වරදක් සිදු කර ඇත්නම් ඒ අනුවත්, නීත්‍යානූකූලව කටයුතු කරනවා විනා මේ අකාරයට “කැකිල්ලේ නඩු තීදු ලබාදීම නොවේ.

ජනාධිපතිතුමනි, මහජන ආරක්ෂක අමත්‍යතුමෙනි, පොලිසිය ගැන හොදටම දන්නවා යැයි මා විශ්වාස කරන හිතවත් වටගල නියෝජ්‍ය ඇමතිතුමෙනි, ඔබ සියළුදෙනා පැය ගනන් දේශපාලන වේදිකාවල මොරගෑ “ නව දේශපාලන සංස්කෘතියක්” ගැන තවදුරටත් බලාපොරොත්තු තබාගෙන සිටීම අප විසින් කල යුතු ද යන්න ප්‍රශ්නාර්ථයක් වන්නට ඉඩ නොතබන ලෙස ඉල්ලමින් මෙම කෙටි සටහන අවසන් කරමි.

( Priyantha Jayakody ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි. )

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading