ස්පා කෙල්ලන් 34ක් අත්අඩංගුවට! කස්ටමර්ලා එක්කෙනෙක්වත් නෑ! ඇමෙරිකාවේ විනීත හිමි ඇල්ලීමේ කතාව සහ ලංකාවේ ඕලුගල සර්ලාට නොපෙනෙන පැත්ත!

මෑතකදී ලෝකයේ දෙපැත්තකින් අහන්න ලැබුණු සිදුවීම් දෙකක් නිසා ලිංගික ශ්‍රමය, නීතිය සහ සදාචාරය ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.

එකක් තමයි ඇමෙරිකාවේ බොස්ටන් නුවරදී ශ්‍රී ලාංකික බෞද්ධ උපදේශකවරයෙක් වුණු මහයායේ විනීත මුදලට ලිංගික සේවයක් ලබාගන්න ගිහින් අත්අඩංගුවට පත්වීම. අනික තමයි ලංකාවේ තලංගම, තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කරගෙන ගිය ගණිකා නිවාස නවයක් වටලලා කාන්තාවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම.

මේ සිදුවීම් දෙක දිහා එකට තියලා බැලුවාම රටවල් දෙකක නීතිය, මිනිස් ජාවාරම් ගැන තියෙන අවබෝධය සහ වැටලීම් සංස්කෘතිය ක්‍රියාත්මක වෙන විදිහේ ලොකු වෙනසක් අපිට දකින්න පුළුවන්.

ලංකාවේ සිදුවීම දිහා බැලුවොත්, මහජනතාවගෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි නිසා පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කඩුවෙල අධිකරණයෙන් ගත්තු සෝදිසි වරෙන්තුවකට අනුව මේ වැටලීම කරලා තියෙනවා.

මෙතනදී කළමනාකරුවන් නවදෙනෙක් එක්ක ලිංගික ශ්‍රමිකයන් විදිහට වැඩ කරපු කාන්තාවන් 34 දෙනෙක්ව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මේ කාන්තාවන් රත්නපුර, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, බදුල්ල, පොළොන්නරුව වගේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආපු වයස අවුරුදු 19ත් 43ත් අතර අය බව තහවුරු වෙලා තියෙනවා.

ඒ වගේම කෙටි වෙලාවකට රුපියල් 6000ක ඉඳන් සම්පූර්ණ රාත්‍රියකට රුපියල් 40,000කටත් වැඩියෙන් මේ අය සේවය සපයලා තියෙනවා කියලත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙන බව මාධ්‍ය වාර්තාවල සදහන්.

ඕලුගල මහත්තයාගේ ප්‍රධානත්වයෙන් වලානට කරන්න පුලුවන් විමර්ශන කෙතරම් තිබෙනවා විය හැකිද? ඒත් ස්පා පස්සේ දිවීම නම් බොහෝ ‍දෙනෙකුට විහිළුවක් විය හැකියි.

මේ ලංකාවේ වැටලීමේ තියෙන විශේෂම දේ තමයි, මේ ස්ථානවලින් මුදල් දීලා සේවය ලබාගත්තු කිසිම පිරිමියෙක්ව නැත්නම් සේවාදායකයෙක්ව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන නැති එක.

ලංකාවේ අපරාධ නීතිය දිහා බැලුවොත්, තමන්ගේ කැමැත්තෙන් මුදලට ලිංගික සේවයක් සැපයීම හෝ ලබාගැනීම කෙලින්ම වරදක් විදිහට නීතියේ පැහැදිලිව දක්වලා නැහැ.

හැබැයි ගණිකා මඩමක් පවත්වාගෙන යාම සහ වෙනත් කෙනෙක්ගේ ලිංගික ශ්‍රමයෙන් ජීවත් වීම, ඒ කියන්නේ පිම්ප් කිරීම නීතිවිරෝධීයි.

කොහොම වුණත් අපේ සමාජයේ තියෙන සදාචාරාත්මක පසුබිමත් එක්ක මේක ලොකු වැරැද්දක් විදිහටයි දකින්නේ. ඒ නිසාම පොලිසිය නිතරම කරන්නේ ස්පා මුවාවෙන් තියෙන තැන් වටලලා, එතන ඉන්න කළමනාකරුවන් එක්ක මේ අසරණ වුණු කාන්තාවන්ව අත්අඩංගුවට ගන්න එක විතරයි. සේවය ගන්න එන අයට කිසිම නීතිමය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වගේම ඔවුන්ව සමාජයෙන් හැංගිලා යන්න ඉඩ ලැබෙනවා.

ඇත්තටම ලංකාවේ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා වගේම ඒවා තුළ ඍජුවම පවතින ලිංගික ශ්‍රමිකයන්ගේ සේවය ලබාගැනීම තීරණාත්මක විදියට සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. මේවාට නිශ්චිත නීතිමය ආවරණයක් නැහැ. සෞඛ්‍යමය ප්‍රමිතියක් නෑ. මේවා පවතින්නේම සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් නීතියෙන් වහන් වෙලා. ඒ නිසාම කිසිදු නීතියක් නැතිව කාන්තාවන්ව සූරාකෑම, ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය වගේ තව ප්‍රශ්න ගොඩක් ලිංගික ශ්‍රමිකයන් එක්ක ගැටගැහිලා තියෙනවා. එය නිත්‍යානුකූලව එම සේවය සැපයීමට වඩා භයානක තත්වයක්.

කොහොම වුණත් වැටලීම් කරන විදිය නම්, ඇමෙරිකාවේ ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මහයායේ විනීතගේ සිදුවීම දිහා බැලුවාම ඒක හොඳටම තේරෙනවා. ඇමෙරිකාවේ බොස්ටන් පොලිසිය “ඔපරේෂන් රෙඩ් කාඩ්” කියලා මෙහෙයුමක් කරලා අත්අඩංගුවට ගත්තේ සේවය සපයන කාන්තාවන්ව නෙවෙයි, ඩොලර් 125 ඉඳන් 400 දක්වා ගෙවලා සේවය ගන්න ආපු පිරිමි අයවයි.

පොලිස් නිලධාරීන්ම අන්තර්ජාලයේ බොරු දැන්වීම් දාලා, ලිංගික සේවිකාවන් විදිහට වෙස්වලාගෙන ඉඳලා තමයි මේ සේවාදායකයන්ව උගුලට අහුකරගත්තේ. ඇමෙරිකාවේ නීතියට අනුව මුදලට ලිංගික සේවයක් ලබාගැනීමට උත්සාහ කිරීම කියන එක සුළු වරදක් විදිහටයි සලකන්නේ. ඒ වගේම ඒ අයගේ නීතියෙන් සේවය සපයන අයට වඩා සේවය ගන්න එන අයට දඬුවම් දෙන්න ලොකු ඉඩක් හදලා තියෙනවා.

ඇමෙරිකාව මේ විදිහට වැටලීම් කරන්නේ විශේෂ හේතුවක් ඇතුවයි. විශේෂයෙන්ම ෆිෆා ලෝක කුසලානය වගේ ලොකු තරගාවලි තියෙනකොට මිනිස් ජාවාරම්කරුවන් විවිධ රටවලින් සහ ප්‍රාන්තවලින් කාන්තාවන්ව ගෙනල්ලා බලහත්කාරයෙන් ලිංගික වෙළඳාමේ යොදවනවා.

විශේෂත්වය තමයි ඇමෙරිකාවේ සංස්කෘතිය ඇතුළේ ලිංගික ශ්‍රමික කාන්තාව අපරාධකාරියක් විදියට නෙවෙයි, අර්බුදයක ගොදුරක් විදියටයි දකින්නේ. මිනිස් ජාවාරම්වල ගොදුරක්, ලිංගික සූරාකෑම්වල ගොදුරක් විදියටයි කාන්තාවත් දකින්නේ.

මේක නවත්තන්න නම් මුලින්ම කරන්න ඕනේ මේකට තියෙන ඉල්ලුම නැති කරන එක කියලා එහේ බලධාරීන් විශ්වාස කරනවා. සේවය ගන්න එන අයව අත්අඩංගුවට අරගෙන සමාජයේ ලැජ්ජාවට පත් කළාම, ඉබේම ඒකට සල්ලි වියදම් කරන්න එන මිනිස්සු ගාණ අඩු වෙනවා. ඉල්ලුම නැති වුණාම ජාවාරම්කරුවන්ට මේක කරගෙන යන්න බැරි වෙලා ඒ ජාලය කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ ඇමෙරිකාව අල්ලන්නේ ඉල්ලුම හදන පිරිසයි. හැබැයි ලංකාව අල්ලන්නේ සැපයුම දෙන, ගොඩක් වෙලාවට මේ ජාවාරමේ අන්තිම පුරුක වෙන කාන්තාවන්වයි.

ලිංගික නිදහස කියන පැත්තෙන් බැලුවාම වැඩිහිටියන් දෙන්නෙක් තමන්ගේ කැමැත්තෙන් මුදලට ලිංගික සේවයක් හුවමාරු කරගන්න එක සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ නිසාම මෙම වෘත්තිය නීතිගත කරවාගැනීම වෙනුවෙන් හඩනගන අය ගැනත් සාධාරණ ලෙස බැලීමට අප සූදානම්.

හැබැයි ප්‍රායෝගික ලෝකයේදී සහ ලංකාව වගේ රටක් ඇතුළේදී මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ එහෙම ස්වකැමැත්තෙන්ම නෙවෙයි. ලිංගික ශ්‍රමය විකිණීම ආසාවට කරනවා නෙවෙයි. එය වෘත්තිය තෝරාගැනීමක් ලෙස තෝරාගන්නවාත් නෙවෙයි. ඒ වගේම ලංකාව වගේ රටක මේ තරම් වසංගත වාගේ ස්පා සහ ලිංගික ශ්‍රමික සේවාවන් තිබීම මේ රටේ පවුල් ජීවිතවල සහ ලිංගික ජීවිතවල අති දැවැන්ත කඩාවැටීමක් පෙන්නුම් කරනවා.

ආර්ථික ප්‍රශ්න, දුප්පත්කම සහ රැවටීම් නිසා තමයි ගොඩක් කාන්තාවන් මේ තැන්වලට වැටෙන්නේ. ලංකාවේ වටලපු තැන්වල හිටපු කාන්තාවන්ගේ ගම් පළාත් දිහා බැලුවාමත් පේන්නේ මේ අය විවිධ ආර්ථික දුෂ්කරතා නිසා ඈත ගම්වල ඉඳන් කොළඹට ආපු අය වෙන්න පුළුවන් කියන එකයි.

ඒ නිසා ලිංගික ශ්‍රමය කියන දේ ඇතුළේ කාන්තාවන්ව සූරාකෑමට ලක්වීම සහ මිනිස් ජාවාරම්වල ගොදුරක් වීම බහුලවම දකින්න පුළුවන් කාරණාවක් වෙලා තියෙනවා.

මේ සිදුවීම් දෙකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි අපේ රටේ වැටලීම් සංස්කෘතියේ තියෙන අඩුපාඩුව.

ගණිකා වෘත්තිය කියන සරල වචනය, නැත්නම් ලිංගික සේවා මුදලට සැපයීම සදාචාරාත්මකව කොහොම දැක්කත්, නීතිය එයට අදාලව ක්‍රියාත්මක වෙනවා නම් ඔහේ වැටලීම් කරනවා වෙනුවට යම් අරමුණක් ඇතිව ක්‍රියාත්මක විය යුතුයි. මොකටද වටලන්නේ? සමාජයේ තියෙන කුමන ප්‍රශ්නය තුරන් කිරීමටද?

සේවය සපයන කාන්තාවන්ව විතරක් අල්ලලා පුවත්පත්වල දාලා ඔවුන්ව තවදුරටත් අසරණ කරනවා වෙනුවට, මේවා පිටිපස්සේ ඉඳන් මිනිස් ජාවාරම් කරන ප්‍රධාන ජාවාරම්කරුවන්ව සහ සේවය ලබාගන්නා අයවත් නීතිය ඉස්සරහට ගේන්න පුළුවන් ක්‍රමයක් ලංකාවටත් අවශ්‍යයි.

ඒ වගේම සමාජයේ දහස් ගණනක් මිනිසුන් රස්සා කරන මේ කර්මාන්තයට අදාලව හරිහමන් තීන්දුවක් ඍජුව ගත යුතුයි.

එහෙම නැතුව ඇමෙරිකාවේ වගේ ඉල්ලුම පාලනය කරන්න පියවර ගන්නේ නැත්නම්, මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න අමාරුයි වගේම, මේක දිගින් දිගටම කාන්තාවන්ව සූරාකන ජාවාරමක් විදිහටම ඉස්සරහටත් පවතීවි.

ඒ වගේම ලංකාවේ තිබෙන අති දැවැන්ත ලිංගික අසහනය සමාජයීය මාතෘකාවක් ලෙස ගත යුතුයි. ඇත්තටම ලොකුම ප්‍රශ්නය තමයි පොලීසියේ ඉන්නේත් දැවැන්ත අසහනයකින් යුක්ත පිරිසක් වීම.

‘ඕලුගල සර්ලා‘ගේ අසහනය අප සෙව්වන්දි ගැන සමාජගත කළ වාර්තාවලින් දැක්කා. අර්බුදය විසදන්නට නම් හැමෝගේම අසහනය තුරන් විය යුතුයි.

Author

Related Posts