හඳුන්නෙත්තිගේ ඉංග්‍රීසියෙන් ඔබ්බට…

ධනංජය කරුණාරත්න

ලෝක ආර්ථික සමුළුවේ හඳුන්නෙත්ති කතා කරන්න ගිහිල්ලා සිදුවූ ප්‍රශ්නය අතිශයින්ම බරපතල වන අතර එයින් පෙන්වන්නේ මේ රජය පත්කිරීමේදී වගේම වැඩ කරගෙන යාමේ දීත් ඇතිවන අවුල්වලදී අපගේ අදහස් උදහස් ඔවුන්ට අවශ්‍ය බවයි. මම මෙය ලියන්නේ එම අදහසින් විනා මගේද හිතවතෙක් වන හඳුන්නෙත්තිගේ අඩුපාඩු විවේචනය කිරීමට නෙවෙයි. හැදෙන නොහැදෙන එක ඔවුන්ගේ වැඩක් පෙන්වා දෙන එක කවදත් අපේ වැඩක්!

ශ්‍රී ලංකාවේ වගේ රටවල් වල මේ වෙනකොට ස්ටීරියෝ ටයිප් වෙලා තියන ඉංග්‍රීසි බැරි එවුන්ට හිනා වෙනවා කීම හෝ ඉංග්‍රීසි බැරිවීමට වඩා හඳුන්නෙත්ති සිද්ධිය බරපතලයි.

හඳුන්නෙත්ති එතන දි අහපු ප්‍රශ්නය තේරුම් ගන්න බැරුව වෙන උත්තරයක් දීමත් බරපතල ප්‍රශ්නයක් තමයි. නමුත් ඒ දුන්න වෙන උත්තරේ ද ඊටත් වඩා අර්බුදකාරී වීම ලොකුම ප්‍රශ්නයයි. ඒ තුළ ගෝලීය හෝ දේශීය ආර්ථික දේශපාලන ප්‍රශ්න කිසිවක් ගැඹුරින් තේරුම් ගත්ත බවක් පෙනෙන්නට නැහැ. පාසලක ප්‍රාථමික පන්තියක ළමයෙකුගේ රට ගැන කතාවකට වැඩිය දෙයක් තිබුණේ නෑ. ලෝක ආර්ථික කථිකා මණ්ඩපයකට පිරිනමන්නට කිසිම දෙයක් එහි තිබුණේ නැහැ. රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසට එම මණ්ඩපයෙන් ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කරන්නට උත්සාහ කරන අතර එම සන්ද්ධර්භය තුළ රටක පාර්ලිමේන්තු ඇමතිවරයෙකු විසින් එවැනි කතාවක් ඉදිරිපත් කිරීම ගැලපෙන්නේ නැතිවීමට වඩා කම්පනයක්. එය ඇත්තේ එවැනි කම්පිත මට්ටමක බව වටහා ගන්නට නොහැකි වීම එම අර්බුදයේම බරපතලම කොටසක්. සමස්තයක් ලෙස රට ජාතිය ලෝකය දේශපාලන ආර්ථකය පිළිබඳව පැසුණු අදහස් නැති කෙනෙකු ලෙසයි ඔහුගේ කතාවෙන් දිස්වන්නේ. ඔහු කතා කරනවා අසා සිටි ඕනෑම කෙනෙකුට ක්ෂණිකයෙන්ම ඇතිවෙන අදහස නම් මෙතනට මීට වඩා අවබෝධය සහ දැනුම ඇති කෙනෙක් එවන්න එම රටේ වෙනත් කෙනෙක් සිටියේම නෑද්ද යන්නයි. ඇත්ත වශයෙන්ම ජාජබ තුළම ඕනෑ තරම් ඉන්නවා. එම නිසා අවසානයේ ඉංග්‍රීසි හෝ වෙනත් කිසිම දැනුම ආදී ප්‍රශ්නයක් ලෙසට මතු කරනවාට වඩා සුදුස්සා සුදුසු තැනට නොගියේ කෙසේදී කියන ප්‍රශ්නය මතු කිරීම වඩා උචිතයි. මෙම දැනුම අවබෝධ මට්ටමේ කෙනෙක් රටේ ඉඳීමත් ඔහු හෝ ඇයව ජනතාව තම ඡන්දයට පත්කරළ පාර්ලිමේන්තුවට වීමත් අපට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බැහැ.

ඊළඟ වරද මෙම භාෂා සහ දැනුම මට්ටමෙන් ලෝක ආර්ථික සමුළුව අමතන්න පුළුවන් කියලා සිතීම තුළ එම සමුළුව ගැනත් ලෝක ආර්ථික කතිකාව ගැනත් අපගේ නියෝජිතයාව තේරුව අයට අවබෝධයක් නැති බව ප්‍රදර්ශනය වීමයි. අඩුම ගානේ හඳුන්නෙත්තිටවත් අවබෝධය තිබුණා නම් ඔහු කළ යුතුව තිබුණේ මට වඩා සුදුසු කෙනෙක් ඊට යවන ලෙස යෝජනා කිරීමයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි තමාව කුඩා සහ බලගතු නැති ලෙස සිතන රටවල් වලට මෙවැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ආදියට සම්බන්ධ වන්න සිදුවුණාම, ඔවුන් ඒවා දකින්නේ විශේෂ වරප්‍රසාද ලෙසටයි. එහි ප්‍රතිඵලයක් ලෙසට එවැනි වරප්‍රසාද ලබා දෙන්නේ තමන්ට වඩාම පක්ෂග්‍රාහී ළඟින් සිටින අයට විනා වඩාම සුදුසුකම් ඇති අයට නෙමෙයි. පසුගිය සෑම රජයයක් විසින්ම කරගෙන ආපු එය රාජපක්ෂගේ කාලෙදි අන්තයටම ගොස් පවුල් පන්සල් පිටින් එවැනි අවස්ථා වරප්‍රසාද ලෙසට අරගෙන ගියා. මෙම දෘෂ්ටිවාදය සහ පුරුද්දද අප විසින් වහාම නැති කරගත යුතුයි. හඳුන්නෙත්තිම එතන කියනවා තමන්ගේ රට කුඩා බවත් මේක මහා අවස්ථාවක් බවත්.නමුත් මෙවැනි සම්මන්ත්‍රණයක් ගැන අප කල්පනා කළ යුත්තේ, අපගේ කුඩා බව නොදියුණු බව දුබල බව මතක් කිරීමෙන් හෝ ඊට ලැබුණු වරප්‍රසාදයක් විදියට හෝ නෙමෙයි. ඊට වඩා අපටද එවැනි සම්මන්ත්‍රණයක දී ගෝලීය ආර්ථික හෝ දේශපාලන කතිකාවකට අප නිෂ්පාදනය කරපු දැනුම එකතු කරන අපගේ දායකත්වය අවශ්‍ය කතිකාවක් ලෙසටයි. සමහර විට අපිව ලබා ගැනීම ඔවුන්ට වරප්‍රසාදයක් වෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. ලෝකේ අපටත් වඩා කුඩා දුප්පත් රටවල්වලින් ගෝලීය කතිකාවන්ට දැනුම නිෂ්පාදනය කරන විශිෂ්ටයින් ඉන්නවා. මෙම ලෝක ආර්තික සමුළුවට ද යවන්න ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් එම සුදුසුකම් තියෙන අය දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල ත්‍රිවිධ භාෂාවෙන්ම ඉන්නවා. එබැවින් මේ මුළු කතාවේ වැදගත්ම ප්‍රශ්නය නම්, එවැන්නෙක් එතනට නොගියේ කෙසේද කියන එකයි.

පුද්ගලයෙකුට කිසියම් තැනක විෂය හරියට කරගන්න බැරි නම් අඩුපාඩු කරනවනම් එම පුද්ගලයාව තනිව අරගෙන උසුලු විසුලු විවේචනය කරනවා වඩා ඔහු එතනට පත්වුණේ කොහොමදප ඊට වඩා සුදුස්සන් එතනට නාවෙ කොහොමද කියන කාරණය විමසිය යුතුයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading