ජිමුත් ඉඳුසර රත්නායක
ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකකට වඩා දිනපතා ම ගමන් කරන හා ගෝලීය ආර්ථිකය සඳහා ඉමහත් බලපෑමක් සිදු කරන වෙළඳ මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ පියවරක් ඉරාන පාර්ලිමේන්තුව විසින් ජුනි 22 වැනිදා අනුමත කරනු ලැබුවා. එසේ සිදු නොකරන ලෙස ඇමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටි අතර, එදිනම ඉරානය විසින් කටාර් රාජ්‍යයේ මිලිටරි කඳවුරකට පහරදුන් විගස සියල්ල අවසන් වෙනතුරු යුද්ධ කරනවායැයි කී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමයක් ගැන කතා කරන්න පටන් ගත්තා.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තර්ජනය ඒ තරම් ප්‍රබල එකක් වුණේ කෙලෙසද?
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර නීතිය හා තම රාජ්‍යයේ ව්‍යස්ථාව ද උල්ලංඝනය කරමින් ගනු ලැබූ අත්තනෝමතික හා හිතුවක්කාරී තීරණය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ඉරානය සලකා බැලුවා. මේ සමඟ මැද පෙරදිග කලාපයේ යුද තත්ත්වය ගෝලීය වශයෙන් පුළුල් ව ව්‍යාප්ත වී යාමේ අවධානමක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාවලිය අභියෝගයට ලක් කිරීමට යැයි පවසමින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ඉරානය විසින් එල්ල කළ ප්‍රති ප්‍රහාර පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකාව සාම සාකච්ඡා සඳහා සති දෙකක කාලයක් ලබා දෙන බව පවසා සිටියත් එය ප්‍රකාශ කිරීමෙන් පැය 48 ක් ගත වීමට පෙර ම ඉරානය වෙත ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් එල්ල කළ මෙම ප්‍රහාරය සඳහා ප්‍රතිප්‍රහාර ලෙස ආයුධවලින් යුද්ධයට අවතීර්ණ වීමට වඩා ඉරානයට පළිගැනීම සඳහා ගත හැකි හැකි බරපතළ ම තීරණවලින් එකක් ලෙස ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකකට වඩා එනම් තෙල් බැරල් මිලියන 20 ක් ද්‍රව ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දිනපතා ගමන් කරන මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම විදෙස් විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙනු ලබනවා.
ඉරානය විසින් මෙසේ ඉතිහාසය පුරා මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට අනතුරු ඇඟවීමේ ප්‍රකාශ නිකුත් කළ ද කිසිශු අවස්ථාවක එම තර්ජන ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක නොකළ බව සඳහන් වනවා.
ලෝක ආර්ථිකය සඳහා මෙතරම් බලපෑමක් කළ හැකි මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය යනු කුමක්ද?
ලෝකයේ වැදගත් ම තෙල් නැව් ගමන් ගන්නා ගමනාගමන ස්ථාන අතරින්, හෝමූස් සමුද්‍ර සන්ධිය අතිශය වැදගත් ස්ථානයක් වන අතර, ඕමානය සහ ඉරානය අතර පිහිටා ඇති, උතුරෙන් ගල්ෆ් ප්‍රදේශයත්, දකුණෙන් ඕමාන් බොක්කත්, ඊට අමතරව අරාබි මුහුද සමඟත් සම්බන්ධ වන මෙය ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉන් ඔබ්බේ ලෝකයේ සෑම රටකට ම පාහේ භූ – උපායමාර්ගිකව වැදගත් වන්නේ ගෝලීය ආර්ථිකයේ සම්පූර්ණ ශක්තිය ම පාහේ තෙල් ප්‍රවාහනය මත දැඩි ලෙස රඳා පවතින නිසා ය.
මෙම හෝමූස් සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානය කිලෝමීටර 33 ක් පළල් වන අතර, නැව් මාර්ග කිලෝමීටර් 3 ක් පමණ පළල් වනවා.
මෙය එතරම් ම වැදගත් වන්නේ ඇයි ?
ලෝකයේ මුළු තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම එයට හේතුවයි.
2022 ආරම්භයේ සිට පසුගිය මාසය දක්වා වාර්තා වී ඇති දත්ත විශ්ලේෂණය කරන විට බොරතෙල් සහ ඉන්ධන බැරල් මිලියන 17.8 සිට 20.8 ක් දක්වා දිනපතා මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව විශ්ලේෂණ සමාගමක් වන වෝටෙක්සා සමාගම පවසනවා.
ඛනිජ තෙල් අපනයනය කරන රටවල්වල කලාපීය සංවිධානයේ එනම් ඔපෙක් සංවිධානයේ සාමාජිකයක් වන සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ ඉරාකය නම් රාජ්‍යයන් සියල්ල පාහේ ඔවුන්ගේ බොරතෙල් වලින් වැඩි ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා අපනයනය කරන අතර ඒ අතරින් බොරතෙල් වැඩි වශයෙන් අපනයනය කරන කලාපය ලෙස ආසියා කලාපය නම් කළ හැකි වනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය අද ඊයේ පවසා ඇත්තේ කුමක්ද?
ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සඳහා වන පියවරක් අනුමත කළ බව ඉරානයේ ප්‍රෙස් ටීවී පසුගිය සති අන්තයේ වාර්තා කළ අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ මෙම තීරණය ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන තීරණය ගැනීමේ අවසාන බලාධිකාරිය ඉරානයේ ඉහළම නායකයින් වෙත පැවරෙනු ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් පවසා සිටියේ ට්‍රම්ප් ඉරානයට බෝම්බ හෙලීමට ගනු ලැබූ තීරණය වෙනුවෙන් සදාකාලික ප්‍රතිවිපාක ඇමෙරිකාව ඇතුළු රාජ්‍යයන්ට විඳීමට සිදුවන බවයි. ඔහුගේ එම ප්‍රකාශය හරහා ඔවුන්ගේ පළිගැනීමේ ක්‍රියාවලිය ඇමෙරිකාවට පමණක් සීමා නොවන විවෘත වශයෙන් සියල්ලන්ට ම බලපානු ලබන පළිගැනීමක් විය හැකි බවට ඉඟි කළ බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.
ඇමෙරිකාව තම රටට එරෙහි ඊශ්‍රායල යුද්ධයට සම්බන්ධ වීමෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඔහුගේ පළමු අදහස් දැක්වීමේ දී ම ඇමෙරිකාව “බරපතල වැරැද්දක්” කර ඇති බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට “දඬුවම් කළ යුතු” බවත් සඳහන් කර සිටි නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන නිශ්චිත සඳහනක් සිදු කළේ නැහැ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් කුමක් සිදුවේ ද ?
සමුද්‍ර සන්ධිය වසා දැමීම ඇමෙරිකාවේ මෙන්ම ලොව සෑම රාජ්‍යයකම පාහේ (විශේෂයෙන් ආසියානු රාජ්‍යයන්වල) උද්ධමනකාරී බලපෑමක් ඇති කරමින් තෙල් මිල ඉහළ යාමක් ඇති වීමක් සිදුවන අතර, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය සහිත හා ඉරානයේ තෙල් අපනයනයෙන් 90% ක් පමණ මිලදී ගන්නා ගැනුම්කරුවා වන චීනයට සමුද්‍ර සන්ධිය වසා දැමීම සැලකිය යුතු ලෙස හානියක් සිදුකරනු ඇතැයි සැලකෙනවා.
ඒ හේතුවෙන් ම ඉරානයේ මෙම තීරණය වැළැක්වීමට උදව් කරන ලෙස ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා සිටින අතර, වැඩිදුරටත් අවසා සිටියේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් එය ඉරානය විසින් සිදු කරනු ලබන තවත් භයානක වැරැද්දක් වනු ඇති බවත් ඔවුන් එසේ කළහොත් එය ඔවුන්ට ආර්ථික සියදිවි නසා ගැනීමක් බවට පත්වන බවත් ය.
කෙසේ නමුත් ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික ක්‍රියාවලිය ද ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර මාලාව දෙස බලමින් හුරේ දමා ඉරානයේ බිඳ වැටීම අපේක්ෂා කළ ලංකාවාසී, ලෝකවාසී බහුතර ජනතාවට ද මෙම තීරණයෙන් සිදුවන බලපෑම සුළුපටු වන්නේ නැත. ලෝක බොරතෙල් මිල හා ගෝලීය උද්ධමනය තමන්ගේ දෙපතුළ අසලට ම පැමිණෙන තෙක් ම බලාසිටීමට කෙතරම් නිවටකමක් ද ? නිරයේ අඳුරු ම ස්ථාන වෙන්වන්නේ මෙලොව අර්බුදකාරී අවස්ථාවල මධ්‍යස්ථභාවය පවත්වාගන්නා අය හට ය. යනුවෙන් ඩාන්ටේ අලිගියර් පවසා ඇති කරුණ නැවත නැවත සිහි කැඳවිය යුත්තේ, ලෝක දේශපාලනයේ සිදුවන එක් කුඩා සිදුවීමක් වුව ද ඊට කිසිඳු සම්බන්ධයක් නැති වෙනත් ඕනෑ ම රාජ්‍යකට වුව දැඩි ලෙස බලපෑම් කළ හැකි මෙවැනි අවස්ථාවක නොවේ ද ?
