අවුරුදු දෙසීයක කටුක ඇත්ත- කඳුකර දෙමළ කොල්ලෝ කෙල්ලෝ ඡායාරූප ප්‍රදර්ශනයක් කරයි

ජිමුත් ඉඳුසර රත්නායක

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන මලයහ තමිල් හෙවත් කඳුකර දෙමළ ජනතාවගේ ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන් විසින් ම ඡායාරූපයට නගන ලද ඡායාරූප හා කෙටි වීඩියෝ පට සහිත ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩිට් කලා අවකාශයේ දී පැවැත්වුණා.

මෙරටට පැමිණ වසර 200ක් ඉක්ම ගොස් ඇතත්, ශ්‍රී ලාංකේය ආර්ථිකය සඳහා මහත් බලපෑමක් සිදු කරමින් තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ සිය ශ්‍රමය, දහදිය හා කඳුළු කැප කරන කඳුකර දෙමළ ප්‍රජාවේ ජීවිතය සමාජීය, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් තවමත් නො දියුණු තත්ත්වයකට පවතින අතර, ඔවුන් එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන ගැටලු, ඔවුන් අත්පත් කර ගත් සංවර්ධනයන් හා ජයග්‍රහණ මෙන් ම ඔවුන්ගෙන් ආර්ථික හා සමාජීය වශයෙන් සිදු වන දායකත්වයන් යන තේමා ඔස්සේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වුවා.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙසෙන කඳුකර දමිළ ප්‍රජාව නියෝජනය කරනු ලබනතරුණ තරුණියන් විසින් ලබාගත් ඡායාරූප කතන්දර 25 ක් (ඡායාරූප 250 ක්) සහ කෙටි වීඩියෝ පට 20 ක් ඇතුළත් වන මෙම ප්‍රදර්ශනය, ඡන්දය ළං වන විට පමණක් ඔවුන් පිළිබඳ සංවේදී වන මහා සමාජය පොළොව මට්ටමේ ඇත්ත යථාර්ථය පිළිබඳ සවිඥානික කරමින් සුබදායී සමාජ විපරිවර්තනයක් උදා කිරීමේ අපේක්ෂා සහිතව, අප නො දන්නා සේ හැසිරෙන නමුත් අප හොඳින් ම දන්නා සහෝදර ප්‍රජාවකගේ ජීවිතයේ ක්ෂුද්‍ර මොහොතවල් පිළිබඳ අපව දැනුවත් කිරීම සිදු කරනවා.

සුළුතර ප්‍රජා වන්ට පූර්ණ මනුෂ්‍යත්ව අයිතිවාසිකම් සහිත ව ජීවත් වීමට ඉඩ දීමෙන් බහුතර මහා සමාජයේ අයිතිවාසිකම් නැති වන බව බව සිතන රටක, පරිපූර්ණ මනුෂ්‍යත්වයක් උදා කර ගැනීමේ අරගලයක නියැළී සිටින කඳුකර දමිළ තරුණ ප්‍රජාව විසින් ඔවුන්ගේ අධ්‍යාපනය, වසර 200 කට අධික කාලයක් මුළුල්ලේ ඔවුන්ගේ ශ්‍රමය හරහා සිදු වන වන ආර්ථික බලපෑම මෙන්ම ඔවුන්ගේ ජීවිතය පිළිබඳ කවි ලියමින් ඔවුන්ට බලාපොරොත්තුව පිළිබඳ ඇති හැඟීම ගැන නිතර දෙවේලේ මුමුනමින් හා ඔවුන්ගේ ජීවිතය ගැන කම්පා වෙමින් ඡන්දය ආසන්න වන විට වැස්සට ඇදෙන මෙරු මෙන් පිටතට පැමිණ නැවත ඡන්ද උණුසුම පහව ගිය පසු අනෙක් ඡන්දය තෙක් ම කිසිදු හැල හොල්මනක් නැතිව එහි ම දිරාපත් ව යන මහා සමාජයේ ප්‍රෝඩාව හා නාටකය වෙනුවට සත්‍ය හා කටුක යථාර්ථය අමු අමුවේ අප හමුවට රැගෙන එන මෙම ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීමෙන් පමණක් නො නැවතී ඔවුන් සමඟ ඒ ගැන කතා කරමින් ව්‍යාජ සංවේදී වීම් වෙනුවට ඔවුන්ගේ ජීවිත පිළිබඳ සැබෑ ඇසකින් බැලීමට අප යොමු විය යුතුයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading