මම ගුටි කෑවා! කේන්දරේ ඉරුවා මහින්දානන්දගේ බිරිඳ දිග ලිපියකින් හෙළිකරයි

තරිඳු උඩුවවරගෙදර

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ නිවසේදී තමන් ගුටි කා ඇති බවත්, මහින්දානන්ද කන්නට කැමති සම්බෝල, බත් සහ කරවල බවත් තමන්ගේ කේන්දරය ගැන සමාජ මාධ්‍ය සටහන් නිසා තමන් කේන්දරය ඉරා දැමූ බවත් ඔහුගේ බිරිඳ හෙළි කර තිබෙනවා.

මේ වන විට මැතිවරණ සමයක මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් බෙදාදෙමින් දූෂණය නම් වරද සිදුකිරීම නිසා වසර 20කට සිර දඬුවම් ලබා සිටින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සේනානි ජයරත්න මහින්දානන්ද අලුත්ගමගේගේ ෆේස්බුක් පිටුවෙහි දීර්ඝ ලිපියක් පළ කර තිබෙනවා. එය වැදගත් වන්නේ, මේ වෙද්දී සිරගතව සිටින දේශපාලනඥයෙකු සහ ඔහු අයත් වන සමාජ පන්තිය ගැනත්, ඒ පන්තියට අයිති කාන්තාවන් ගැනත් මනා අවබෝධයක් ගැනීමට මේ ලිපිය උදව් වන නිසා.

මේ සටහන එම ලියුමෙන් උපුටාගත් කරුණු කිහිපයක් ඇසුරෙන් කරන විග්‍රහයක්.

බොහෝ අයට අවබෝධ වන විදියට සරලව කීවොත්, මහින්දානන්ද අලුත්ගමගේ සහ ආශා අලුත්ගමගේ විවාහ වී සිටියා. ඔවුන් දික්කසාද වුණා. සේනානි ජයරත්න නීතියෙන් විවාහ ගිවිසගෙන සිටියේ දුමින්ද දිසානායකයි. පසුව මහින්දානන්ද සහ සේනානි යුවල විවාහ වුණා. සේනානි ජයරත්න හිටපු අගමැති දි.මු. ජයරත්නගේ දියණියයි. ඇගේ බාල සහෝදරයා අනුරාධ ජයරත්න. සේනානිව මහින්දානන්ද විවාහ කරගත්තේ ඇගේ කේන්දරයේ රාජයෝගයක් තිබුණු නිසා බවට හුදු කටකතා තිබුණා.

සේනානිගේ ලිපියෙහි සඳහන් ආකාරයට මහින්දානන්ද අලුත්ගමගේ පවුල් ජීවිතයේදී සේනානි ජයරත්නට පහර දී තිබෙනවා. නිවසෙන් එළියට දැමූ අවස්ථාත් තිබෙනවා. ‘අනෙක් හැමදෙනා මෙන් අපිද රණ්ඩු වුණෙමු. ඉඳහිට මා ගුටිත් කා ඇත. කතා නොකර සිටත් ඇත. ගෙදරින් මා පැන්නූ අවස්ථාද ඇත. වෙන් වී ජීවත් වූ දිනද ඇත. මේ සිදුවීම අස්සේත් අප සිටියේ විරසකවය. මේ හැමෙකක්ම කලාතුරකින්ය. අන් හැමවිටම අප බොළඳ ප්‍රෙම්වන්තයන්ය. ඔහු තරම් මා තරම් එකිනෙකාට ආදරය කළ කිසිවෙක් අප අතර මා දැක නැත. මගේ මිතුරියන් එයට සාක්ෂි දරනවා ඇත.‘

ඇත්තෙන්ම තමන්ගේ සැමියාට ලැබුණු තීන්දුව මෙන්ම එහි සාධාරණත්වය පවා ප්‍රශ්න කරමින් ඇය ලියූ දීර්ඝ ලිපියෙන් මහින්දාන්ද පහර දී ඇතැයි කියන පාපොච්චාරණයත්, ගෙදරින් එළ වූ බව කියන කොටසක් අප මුලින් ඉස්මතු කරන ලද්දේ ඇයට අපහාසය පිණිස නොවෙයි. මේ සිදුවීම විචාරය කිරීමේදී එය අනෙක් සියලු දේශපාලනික කරුණුවලට වඩා දේශපාලනික වන නිසායි. ඇගේ මානසිකත්වය, ඈ වැනි බොහෝ කාන්තාවන්ගේ මානසිකත්වය ඉතා දේශපාලනික නිසා.

මෙම ලිපිය පුරාවට පෙන්නුම් කරන්නේ, අපේ රටේ එක්තරා පැළැන්තියක කාන්තාවන් සිතන විදිය. සේනානි ජයරත්න මේ ලිපිය ලියා තියෙන්නේ සීයට සීයක් අවංකව බවත්, මෙය හුදෙක් අනුකම්පාව දිනාගැනීමේ වුවමනාවෙන් වංක ලෙස ලියූවක් නොවන බවත් ඇය හෘදය සාක්ෂියට එකඟ බවත් අනුමාන කරන්න පුලුවන්. ප්‍රශ්නය ඇත්තේ ඇය හෘදය සාක්ෂියට එකඟව විශ්වාස කරන දේවල්.

‘මම ඔහුගේ 4 වන දරුවාය.‘ යනුවෙන් සටහනේ එක තැනක කියනවා. එමෙන්ම සටහන පුරා ඔහු මහින්දානන්ද අමතන්නේ ‘අයියා‘ කියලයි. මෙය ඉතාම වැදගත් කොටසක්. ලංකාවේ කාන්තාවට ප්‍රේමය තුළ තමන්ට පහරදීම ‘ආදරේ වැඩිකමට‘ කරන දෙයක් විදියට අර්ථකතනය කරන්න පුළුවන්. එමෙන්ම ප්‍රේමය කියන සම්බන්ධතාව තුළ තමන්ගේ ප්‍රේමවන්තයාට ‘අයියා‘ කීම හෝ ‘තාත්තා‘ යන සම්බන්ධය ආදේශ කිරීමටත් ඔවුන් කැමතියි. තමා හා ලිංගික සබඳතාවක යෙදෙන, තමගේ සහකාරයාට ලිංගිකමය නොවන අයියා හෝ තාත්තා වැනි සබඳතා ආදර්ශ කරන්නේ ඇයි? එයින් පසු ඒ සැමියාගේ වුවමනා මත ජීවත්වීම වගකීමකට හරවාගන්නේ ඇයි?

‘ඔහුගේ ඇස් මානයේම මා සිටිය යුතුය. රාජකාරීන් සඳහා නික්ම ගොස් නිවසට එන විට මා නිවසේ නැති නම්, මා එන තෙක් කාමරයටවත් ඔහු යන්නේ නැත.‘ යනුවෙන් ඇය පවසන්නී තමන්ගේ ආදරයේ ස්වභාවය හෘදය සාක්ෂියට එකඟව ප්‍රසිද්ධියේ කියමින්. ‘ඔහුට නොරිද්දා මගේ  දිවිපෙවෙත වෙනස් කිරීමට මා නිතැතින් පෙළඹුනෙමි. ඒ ස්ව කැමැත්තෙනි. අපේ ලොකු දුව හිරුණි, ඒ ගැන මා හා වාද කර ඇත. ඇය පියාට මෙන් මටත් ඉමහත් ආදරයක් දක්වයි. ඇය කීවේ මා. මට ආසා විදියටත් ජීවත් විය යුතු බවය. එහි වරදක් නොමැති බවය. නමුත් ඒ හැම විටම ගත්තේ මගේ අයියාගේ පැත්තය.‘

කෙසේ වෙතත් ඇය වැඩිදුරටත් කියනවා මහින්දානන්ද ඇයට තේ කෝප්පය අතට දුන් බව. ඇයට අම්මා කීවාලු  ස්වාමියාගෙන් වැඩ ගැනීම වරදක් බව. එහිදී ඇය පාවිච්චි කර තිබුණු වචනයත් ‘ස්වාමියා‘ කියන එක. ස

ලංකාවේ මධ්‍යම පාන්තික ප්‍රභූන්ගේ සමාජ සම්බන්ධතාවල දිග පළල ඇගේ ලිපියෙහි ඇය හිතාමතා හෝ නොදැනීම හෙළිදරව් කර තිබෙනවා. සැමියාට ස්වාමීත්වය පමණක් නොව, තමන්ගේ පියා වීම මෙන්ම අයියා කරගැනීම පවා ඇගේ පමණක් නොව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වෙලා තියෙනවා.

ගතානුගතිකත්වය, සාම්ප්‍රදායිකත්වය පිරි මේ සමාජ සම්බන්ධතාවල අනෙක් ප්‍රබලම අංගය වන්නේ හෘදය සාක්ෂියෙන් ඔවුන්ගේ ලෝකයට අනුව ඔවුන් වැරදිකරුවන් නොවීම. ඇයට අනුව මහින්දානන්ද කිසිදු වරදක් කර නැහැ. මැතිවරණයක් අස්සේ ජනතා මුදල් අවභාවිත කරමින් රජයේ සම්පත් බෙදා දී වාසි ගන්නට උත්සාහ කළ නීතිමය වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන් නින්දිත ක්‍රියාව ඇගේ අවංක හෘදය සාක්ෂියට අනුව වරදක් නෙවෙයි. ඇයට එය දැනෙනවා ඇත්තේ, හරි අහිංසක වැඩක් විදියටයි. මහින්දාන්ද කර ඇති ‘එකම වරද‘ තීරුබදු ඉවත් කරන ලෙස කළ වාචික ඉල්ලීමක් පමණක්ලු.

හරි! නීතිය ගැන ඇය කියා ඇති බොළඳ කරුණුවලට මේ සටහනේ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඇය ඊට වඩා ඇගේ ජීවිතය, සමාජ පන්තිය ගැන කරන හෙළිදරව්ව ඉතාම වැදගත්.

‘මහින්දානන්ද අලුත්ගමගේ යන චරිතය ‘විනිවිද දැක‘ ඔහුගේ අප්‍රමාණ මනුස්සකම්වලට ආදරය කිරීමට පෙළඹුණු, ඒ වන විට වයස අවුරුදු 30ක් වූ මට, අපේම දේශපාලන කඳවුරෙන් බොහෝ බලපෑම් එල්ල වුයේ මෙම සම්බන්ධය නතර කරන ලෙසටය. එය කෙළින්ම මා හා පවසන්නට තරම් ඔවුන් උත්සුක විය. එයට මූලික හේතුවක් වූයේ අයියාගේ කුල මලය. (මගේ අප්පචිචිත් අම්මාත් කිසිදාක කුල මල අනුව මිනිසුන් මනින්නට මට කිය දී තිබුණේ නැත.) ඒ බොහෝ දෙනා අපේ සම්බන්ධය දුටුවේ දේශපාලන කෝණයකින් පමණය. නමුත් කුමන අභියෝග හමුවේ වුව එකිනෙකාට පෙම් බඳින්නට තරම්, දේශපාලනයට වඩා වටිනා මිල කළ නොහැකි කරුණු අපි දෙදෙනාටම එකිනෙකා තුල වූ බැව් කිව යුතුමය.‘

යනුවෙන් ඇය පවසනවා. ඒ කොටස තුළ ඇය තමන් මහින්දානන්දට ආදරය කළ බව කියන හැටි ඉතා වැදගත්. මොකද, සමාජයත් ප්‍රගතිශීලී නැහැනේ. සමාජයත් ගතානුගතිකයි. සමාජය තුළ සේනානි ජයරත්න හුදෙක් හිස් අවලංගු කාසියක් වුණා. ඇය නිකම්ම භාණ්ඩයක් ලෙසයි සමාජයේ අර්ථකතනය වුණේ. මහින්දානන්දට රාජයෝගයක් උදෙසා තිබූ වුවමනාවකට ඇයව ‘ගත්‘ බවයි කීවේ. එහෙත් ඇය මනුෂ්‍යයෙක්. අනිවාර්යයෙන්ම ඇගේ ආදරය මහින්දානන්ද දිනාගන්න ඇති. මහින්දානන්ද අලුත්ගමගේට වෙන චෝදනා කරන අතරේ ඔවුන් අතර ප්‍රේම කතාවක් තියෙන්නට ඇති බව අප තේරුම්ගත යුතුයි.

කෙසේ වෙතත් ඇය කියන ආකාරයට මහින්දානන්දගේ සම්බන්ධය වෙනුවෙන් ඇය සියදිවි නසාගැනීමට උත්සාහ කළාලු. රටින් පිටව සිටියාලු.

මීට අමතරව ඇය සිය කේන්දරය ගැන කතාවත් එහි තිබුණු කතාවක්. ඇය කේන්දර බලන්න ආසාවෙන් හිටපු කෙනෙක්ලු. සමාජ මාධ්‍ය කතා නිසා කේන්දරය ඉරා දැම්මාලු. ඒත්, ඇය ‘වාසනාවන්ත‘ බව ඇති මතය ඉවත් කරන්නත් ඇයට ඕනෑ නැහැ. ඇය හා සිටි සමයේ මහින්දානන්දගේ ජීවිතයේ හොඳම කාලයක් බවත් කියන්න ඇයට ඕනෑ.

ඇයට අනුව මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව තිබුණු දූෂණ විමර්ශන ඔහුට වධයක්. ආශා අලුත්ගමගේ මහින්දානන්දගෙන් වන්දි ඉල්ලීම, එයින් පසු ඔහුගේ වත්කම් පිළිබඳ ආ ගැටලු ඔහුට ලොකු කරදරයක් වූවාලු. වසර ගණනක් තිස්සේ වත්කම් ගැන හෙළි කරන්න වුණාලු. ඒ වෙනුවෙන් නිදි මරන්න වුණාලු. එය කරදරයක් විදියට ඇයට දැනුණාට, සේනානි නොකියන කාරණය තමයි අවුරුදු ගාණක් තිස්සේ කිසිම විනිවිදභාවයක් නැතිව සල්ලි හම්බ කිරීමම ගැටලුවක් බව. ඒවා ඒ ඒ කාලවල නිසිපරිදි වාර්තා කරලා තිබුණා නම් නිදි මරන්නට සිදු නොවන බව. වත්කම් ගැන හෙළිදරව් කිරීම කරදරයක් වන්නේ ගැටලුවක් නිසා බව. මහින්දානන්දගේ ගිණුම් තිබුණු බැංකු දෙකක් ඔහු හා ගනුදෙනු නැවැත්වීමත් ඇය දකින්නේ කරදරයක් ලෙස. ඒත්, ගැටලු සහගත පුද්ගලයන්ගේ ගිණුම් ඉවත් කරගැනීම බැංකු තමන්ගේම ආරක්ෂාවට සිදු කරන දෙයක්.

ඇය හර්ෂණ නානායක්කාර විසින් සිදුකළ ප්‍රකාශය සිය ලිපියේ උපුටා දක්වා තිබෙනවා. එය ඉස්මතු කර තිබෙනවා. ඇත්තෙන්ම ඇමතිවරයා ඔය ප්‍රකාශය නොකළ සිටියා නම් හොඳ වෙන්නට තිබුණා. ‘මහින්දානන්ද අලුත්ගමගේගේ නඩුවේ ඔබ හිතනවාද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැර වෙන ආණ්ඩුවක් බලයේ හිටියනම් ඔය තීන්දුව ලැබේය කියා? මම හිතනව නෑ කියල!!! මගෙ පෞද්ගලික මතය.‘ යනුවෙන් හර්ෂණ නානායක්කාර කීවා.

ඇත්තෙන්ම සමාජයක වෙන වෙනස්කම් අධිකරණයටත් බලපානවා. අධිකරණය තුළ තීන්දුවක් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන මැදිහත් වෙනවා. ඒවා හරහා නඩු ඉල්ලා අස් කරගනිමින් මෙන්ම නඩුවලදී හරියට කරුණු ඉදිරිපත් නොකර, සාක්ෂි මෙහෙයවන්නේ නැතිව නඩු වනසන්න පුළුවන්. ඒ සියල්ලට වඩා මහින්දානන්ද වැනි පුද්ගලයෙකුට තද දඬුවමක් ලබා දීම තුළින් සමාජයට පණිවිඩයක් දීම අධිකරණයේ අපේක්ෂාව වන්නටත් ඇති. ඒක අනිවාර්යයෙන්ම මාළිමාව බලයට ගැනීමට හේතු වූ සමාජ- දේශපාලන බලවේගවල මහන්සියේ ප්‍රතිඵලයක් වෙන්න ඕනෑ.

ඒත්, මේ නඩුවේ ‘ක්‍රෙඩිට් එක‘ ගන්නට වාගේ අධිකරණ ඇමතිවරයා අනවශ්‍ය ප්‍රකාශයක් කර තිබෙන බවත් අපට හිතන්න පුළුවන්. ආණ්ඩුවට පිටින් සිටින අය මේ නඩු තීන්දුව ගැන ආණ්ඩුවට ගෞරවය දීම එකක්. ආණ්ඩුවේ අධිකරණ ඇමති මේකේ ‘ක්‍රෙඩිට් එක‘ ගැනීමට ප්‍රකාශයක් කළ විගස ඒක ඉස්මතු කර පෙන්වීමට සේනානි ජයරත්න වගේ කෙනෙක් දෙවරක් හිතන්නේ නෑ. ඇගේ පැත්තෙන් ඒක සාධාරණයි. අධිකරණ ඇමති තමන්ගේ සැමියාට දුන්න නඩු තීන්දුව ගැන කීව කතාව ඇය අනිවාර්යයෙන් මතු කරනවා.

එහෙත් අපට නම් මේ තීන්දුව සෑහීමට පත් වීමට හැකි එකක්. එයට බලපෑමක් වූ බව කියන්නට කරුණු නෑ. ඇය බලපෑමක් වූ බව පෙන්වීමට තව කරුණු ගේනවා. ඇය කියන විදියට විනිසුරුවරුන් මාරු වුණාලු. ලැබුණු දඬුවම වෙනස්ලු. ඇය අහනවා, වෙන තීන්දුවක් දෙන්න තිබුණු අධිකරණය ක්ලීන් ශ්‍රී ලංකා යටතේ මහින්දානන්දට හරි දඬුවම දෙන්නට වෙනස් කළ ක්‍රියාවලිය මොකක්ද කියලා. ඒක නිත්‍යානුකූලද කියලා. ඒ මදිවාට තීන්දුව ලියන්න බාහිර උදව් ගත් බවත් ලිපියෙන් ඇය හඟවනවා. තීන්දුව ඉතාම බරපතල විදියට ප්‍රශ්න කරනවා. තීන්දුව කලින්ම ලියා තිබුණු බව පවා හඟවනවා. ඇයට අධිකරණය ප්‍රශ්න කිරීම සඳහා ඇති අයිතියෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

ඊළඟ ඇය අපූරු දෙයක් කරනවා. ඇය තඹුත්තේගම ‘සාමාන්‍ය පවුලක‘ ඉඳන් ආපු අනුර බලයට සුදුසු නැති බව ඇය හඟවනවා. ටයිටැනික් නැව වගෙ අනුර හැප්පෙයිලු. එතැනදී තමයි ඇය ගැන උපහාසය තදින් මතු වෙන්නේ. එමෙන්ම එතෙක් දේශපාලන පවුලක සැමියාගෙන් ගුටිත් කා ඇති කාන්තාවක් වන ඇය ගැන ඒ වනතෙක් තිබුණු උපේක්ෂා සහගත  හැඟීම යට යන්නේ. ඒ වෙනුවට ඇයව කර්කශ විවේචනයකට ලක් කළ යුතු බව හැඟෙන්නේ. ඒ නිසා මෙතැන් පටන් සටහනේ ස්වරය වෙනස් වෙනවා.

දේශපාලන පවුල්වලින් ආපු දේශපාලන පවුල් පැටවුන්ට රට පාලනය කරන්න අත්දැකීම් තියෙනවාලු. ඊට අමතරව ගෝඨාභය රජපක්ෂ මොකක්දෝ මාර එකක් කරන්නට හැදූ බවත් කියනවා.

‘මේ පිළිවෙත අවංකව වෙනස් කිරීමට උත්සාහ කළ එකම නායකත්වය ගෝඨාභය රාජපක්ෂයන්ය. නමුත් මා ඔහු නිසා උගත් එකම පාඩම නම් මේ ධරනිතලය තුළ උඩුගම් බලා පිහිනිය නොහැකි බවය. කොතරම් උත්තරීතර චරිතයකටවත් කොතරම් සද්භාවය ඇත්තකුටවත්. උගතෙකුටවත්, සමාජ සේවයක් ලෙසවත් ගරු සේවයක් ලෙසවත් රට කළ නොහැක.‘

ඇය කලාකරුවන්ගේ දරුවන්ගෙ දක්ෂතා ගැන කියා, ඉස්මතු කරන්නේ ‘හැදෙන වැඩෙන පරිසරයෙන් ලැබෙන පන්නරය මෙන්ම දෙමව්පිය ආබාෂයෙන් ලබන හුරුව හා අත්දැකීම්වල බලය‘ තියෙන බව.

‘දේශපාලනයද එසේය. කවුරු කැමති වුවත් අකමැති වුවත් සජිත් ප්‍රේමදාසලා, නාමල් රාජපක්ෂලා………‘ යනාදී විදියට දීර්ඝ දේශපාලන පැටවුන්ගෙ නම් ලැයිස්තුවක් ඇය කියනවා. ඊට පස්සේ ඔවුන්ව රැකගන්න ඕනෑලු. ඒ පියවරු දේශපාලනඥයන් වුණ නිස නෙවෙයිලු. ‘උපන්දා සිට ඒ උකහාගෙන ඇති අත්දැකීම් සම්භාරය මත ඔවුන්ගේ මෙහෙය අනෙකුත් දේශපාලන චරිත සමගම රටට ලබාගත යුතු බැවින්‘ලු.

ඇත්තටම මෑතකදී අමාලි රඹුක්වැල්ලලා ගැන රමිත් රඹුක්වැල්ලලා ගැන බලද්දී ඇත්තටම අපට දැනෙන්නේ කුමක්ද? තාත්තලාගේ බලයෙන් රග්බි ගසමින්, කාර් රේස් පදිමින්, රොකට් යවමින්, රටේ නාවික හමුදාව පවා අවභාවිත කරමින් රාජපක්ෂ දරුවන් කරපු දේවල් ගැන අපට අමතකද? මාලක සිල්වාලාගේ සිට තව දේශපාලන දරුවන් කීදෙනෙක් තමන්ගේ පවුල් බලය අවභාවිත කළාද?

ඔය දේශපාලනඥයන් අවුරුදු හැත්තෑවක් තිස්සේ රට බංකොළොත් කළේ නැද්ද? ඒ කරන අතරේ තමන් ධනවත් වුණේ නැද්ද?

ඇත්තටම තාත්තලා සමාජයට උකහලා තියෙන දේවල්වලට හැටියට සමාජය ළමයින්ගෙනුත් උකහාගන්න බැරිකම නිසයි තඹුත්තේගම ‘සාමාන්‍ය පවුලක‘ දරුවෙක්ව බලයට ගෙනාවේ.

එහි ප්‍රතිඵලය වන්නේ සේනානි ජයරත්න වැනි දේශපාලන බලය සහ රට පාලනය කිරීම ගැන විකෘති අවබෝධයක් සහිත ගතානුගතික මිනිස්සු. ඇයට තමන්ගේම පවුල් විසින් කර ඇති දේශපාලන වැරදි ගැනවත් සංවේදීත්වයක් නෑ. ඇයට අනුව ඇය ගෙවා ඇත්තේ අවංක සහ හෘදය සාක්ෂියට එකඟ ජීවිතයක්. මේ දේශපාලන පුතුන් තඹුත්තේගම සාමාන්‍ය පවුලක පුතෙක් වාගේ එදිනෙදා ජීවිතේ අසීරුව දන්නේ නැහැ. ඔවුන් ඉන්නේ වෙනම මධ්‍යම පාන්තික මන්දිර දිවියක. ඔවුන්ට ඇති එකම කරදරය තමන් සල්ලි හම්බ කරපු විදිය ඇහුවාම රියදුරන් එක්ක ඒ ගිණුම් හදන්න වෙන එක. තමන් කෙනෙක් එක්ක විවාහ වෙන්න හදනකොට, කුලය හෝ දේශපාලනය කියා බාධා එල්ල කරද්දී රටින් පිටවෙලා ඇමෙරිකාවේ ඉන්න එකයි ඒ දරුවන් දකින දුක හා වේදනාව.

රැකියා කරන්නට නිවෙස් පාළු වී විදේශගත වූ මිලියන ගණන් ඉන්න රටක දූෂණය නම් වරද සිදු කිරීමේ වරදට සැමියා ගෙදර ගිය පසු ගේ පාළු වීමයි ඔවුන්ට ඇති ප්‍රශ්නය.

හස්බන්ඩ් රාජකීය විද්‍යාලයට ගිය එකත් ඇයට ලොකුයිලු. තුනේ ඉඳන් රාජකීය එකට ගිය සැමියා නිකමෙකු කළ එකට දුකයිලු. දුකයි නං දුකට පුම් ගසන ලෙසයි ඇයට කියන්නට ඇත්තේ! මන්ද යත් රාජකීය විද්‍යාලයට ගියත් රටට වැඩක් නොකළ නිකමා නිකමෙකුම වන නිසා.

රෝයල් ගියත් නිකමා නිකමාම බව සමාජය තේරුම්ගත් නිසයි, තඹුත්තේගම ‘සාමාන්‍ය පවුලක‘ දරුවාව බලයට ගෙන ඒමේ අවුලක් නැති විත්තිය සමාජය අවබෝධ කරගත්තේ.

මෙම ලිපියේ තවත් කරුණු කිහිපයක් හෙළිවුණා. එකක් තමයි මේ වෙද්දී අභියාචනය සඳහා ඇයත්, නීතිඥයනුත් අදාල නඩුවේ නීතියේ දෝෂ සොයමින් සිටින බව. එනම්, මහින්දානන්දට ලබාදුන් දඬුවමේ තාක්ෂණික ගැටලු ඉස්මතු කිරීම සඳහා සොයන බව. ඒ අනුව ඇගේ නීතිඥයන් අධිකරණයේදී මහින්දානන්දව මුදාගැනීමට උපරිම උත්සාහ කරනු ඇති.

සියල්ල අවසානයේ ඇගේ ලිපියේ අංක එකේ ඉලක්කය ආණ්ඩුවත් නෙවෙයි. අධිකරණයත් නෙවෙයි. සමාජ මාධ්‍ය බවත් සිහි කළ යුතුයි.

‘සමාජ මාධ්‍යයේ අවසාන බිල්ල මගේ අයියා විය යුතුමය‘ කියලා ඇය කියනවා.

ඒ වෙනුවෙන් ඇය අපූරු තර්කයක් ගොඩනගනවා.

‘මහින්දානන්දලා සහ 76 වසරක් පුරාවට දේශපාලනය කළ අය දේශපාලනය හේතු කොටගෙන උපයාගෙන නැතැයි මට කිව හැකිද? නොහැක! මහින්දානන්දලා අතින් දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට වැරදි සිදුවෙලාම නැද්ද? සිදුව ඇතිවා නිසැකය‘ කියා ඇය කියනවා.

ඇය ඔය අස්සේ දේශපාලනයෙන් හම්බ කළ බවත්, සෑහෙන දුරට පිළිගන්නවා. මහින්දානන්ද හිටියේ සෙල්ස් රෙප් කෙනෙක් විදිට බවත් ඇය ලිපියේ එක තැනක කියනවා. තව තැනක කියනවා, මහින්දානන්ද රජුත් නැනුවාලු. සල්ලි විසි කරන්න පුළුවන් වුණාලු. සේල්ස් රෙප් කෙනෙක් රජුන් තනන්න සල්ලි විසි කරන්න පුළුවන් තැනට ආවේ කොහොමද? ඇය කියන විදියට රියදුරු වසන්ත එක්ක නිදිමරාගෙන ගිණුම් හදලා ඒ සල්ලි හම්බ කරපු හැටි පැහැදිලි කරලා නම් තියෙනවා. ඒත්, අපි කියන්නේ ඒ රියදුරු වසන්තගේ ගිණුම් විශ්වාස කරන්නට බැරි නිසා- මේ ආණ්ඩුව යටතේ නැවත වතාවක් ඒවා විමර්ශන කළාට පාඩුවක් නැති බව.

ඔය අස්සේ ඇය තමන්ව සාධාරණීකරණය කරගන්නේ ව්‍යාපාරිකයන් රජයේ වැඩක් කරගන්න අල්ලස් ගෙවන බව කියලයි. ළමයි ඉස්කෝලේ දාගන්න අල්ලස් ගෙවන බව කියලයි. රටේ හැමෝම හොරුලු.

ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. දැන් ආණ්ඩුව ඇතුළට රිංගාගෙන සිටින, දූෂණ විරෝධය කතා කරන ඔය වාණිජ මණ්ඩලවල ඉන්න ව්‍යාපාරික ලොක්කන් තරම් හොරු ලොවෙත් නැහැ. ඒත්, ඇය අනෙක් අයගේ හොරකම් තමන්ගේ පවුලේ හොරකම් වසා ගන්නට පෙන්වීමයි හාස්‍යයට කරුණ.

අන්තිමේ වැරැද්ද සමාජ මාධ්‍යය. ඇය සමාජ මාධ්‍ය කියා අදහස් කරන්නට ඇත්තේ පසුගිය කාලයක් තිස්සේ ඇගේ පළමු සැමියා සහ දෙවැනි සැමියා යන දෙදෙනාම ඇතුළුව, ඇගේ පවුලේ අයත් ඇතුළුව මේ රට පාලනය කළ දේශපාලනඥයන් ගැන සමාජ මාධ්‍ය හරහා කතිකාවතක් ඇති කරගත් ජනතාව වෙන්න ඕනෑ. ඇය අවංකවම කියා තියෙන විදියට නාවලපිටියේ රතිඤ්ඤා දැම්ම නිසා ඇයට දුක හිතුණාලු.

ඇයට නොතේරෙන දෙය තමයි අවුරුදු ගාණක් තිස්සේ නාවලපිටියේ මිනිසුන්ට තමන්ගේ ජීවිතවල වෙනසක් නොවූ බව හැඟෙද්දී මහින්දානන්දලාව එපා වී තිබෙන විත්තිය.

කෙසේ වෙතත්, සේනානි ජයරත්න කාන්තාවක් ලෙස සමාජයේ අනුකම්පාවට ලක් විය යුතු බව ඇත්ත. එහෙත්, පිටු 17ක් පාවිච්චි කරමින් ඇය ඇගේ අනුකම්පා සහගත කතාව පමණක් කියා නැහැ. ඇය කිසිදු වරදක් නොකළ ගාණට සමාජයටයි බැණ වදින්නේ. ඇය ඇගේ ප්‍රභූත්වයයි ඉස්මතු කරන්නට උත්සාහ කරන්නේ.

අන්තිමේ වැරදි මහින්දානන්ද නෙවෙයි. මිනිස්සු! අධිකරණය! ඇතුළු හැමෝම. ඒ නිසාම සේනානි, සමාජය ඉදිරියට ආ ඔබට ප්‍රතික්ෂේප වීමට සිදු වෙනවා.

ඔබ ඔබේම විමුක්තිය වෙනුවෙන් මේ ලියුම ලියූ බව කීවා. ඒත් කණගාටුවකට මේ ලියුම තුළ කිසිවෙකුගේ විමුක්තිය නැහැ.

සේනානි සොයුරිය! කාන්තාවක ලෙස ඔබට විමුක්තිය සොයාගැනීමට හැකිවේවැයි අපි ප්‍රාර්ථනා කරනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading