රජයට පවරාගත් කතෝලික පාසල් ගැන කතා කරන්න කාදිනල් හිමි ඇතුළු පිරිසක් ආණ්ඩුවේ නියෝජිතයින් හමුවේ

රජයට පවරාගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ නියෝජිතයින් හා කතෝලික සභාවේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මැයි 21 වැනිදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

මේ සඳහා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ඇතුළු රදගුරුවරුන් පිරිසක් කතෝලික සභාව වෙනුවෙන් සහභාගි වී ඇති අතර ආණ්ඩුව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

එහිදී රජයට පවරාගත් පාසල්වල පරිපාලන ගැටලුවලට අමතරව කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා ගුරු කාර්ය මණ්ඩල ක්‍රමවේදයක් හඳුන්වාදීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් හා පියතුමන්ලා බඳවා ගැනීම මෙන්ම රජයට පවරාගත් කතෝලික පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරී ඇත.

කතෝලික සභාව සමඟ පවත්වන එම සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට හා එම සාකච්ඡාවල ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ කටයුතු කිරීමටත් තීරණය වී ඇත.

එම සාකච්ඡාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයට සිය ස්තූතිය පළකරන බව එහිදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පැවසූ බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading