ETF දායක මුදල් ගෙවීම සහ වාර්තා ඔන්ලයින් ක්‍රමයට පමණයි… ඉදිරියේදී මුදල් සහ චෙක් බාර ගන්නේ නෑ…

සේවකයන් 15 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සියලුම ආයතන, සිය සේවකයන්ගේ භාර අරමුදල් (ETF) දායක මුදල් ගෙවීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීම ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කළ යුතු බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය නිවේදනය කර තිබේ.

මෙම නව තීරණය 2026 ජූලි මාසයට අදාළ දායක මුදල් ගෙවීමේ සිට ක්‍රියාත්මක වන බැවින්, අදාළ සේවා යෝජකයින් එම මුදල් 2026 අගෝස්තු 31 වනදාට පෙර මාර්ගගත ක්‍රමයට ගෙවා අවසන් කළ යුතු වේ.

මෙම නව රෙගුලාසිවලට අනුව ඉදිරියේදී මුදල් (Cash), චෙක්පත් (Cheques) හෝ මුදල් ඇණවුම් (Money Orders) මගින් දායක මුදල් භාරගැනීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇත. එමෙන්ම මීට පෙර පවත්වාගෙන ගිය මුද්‍රිත වාර්තා භාරගැනීමද මින් ඉදිරියට සිදු නොකෙරේ.

සේවායෝජකයන්ට බාධාවකින් තොරව මෙම ගෙවීම් කටයුතු සිදුකිරීම සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු 9ක් සමඟ එක්ව ‘ETF E-Banking’ පහසුකම් මේ වන විටත් සක්‍රීය කර ඇති අතර, ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ NDB බැංකුව යන බැංකුවල මාර්ගගත බැංකු පද්ධති (Online Banking) හරහා සේවායෝජකයන්ට සෘජුවම සිය ගෙවීම් කටයුතු සිදුකළ හැකිය.

එසේම නියමිත දිනට පෙර, නිවැරදිව සහ ඉතා පහසුවෙන් දායක මුදල් තැන්පත් කර අනවශ්‍ය අධිභාර (Surcharges) වලට ලක්වීමෙන් වළකින ලෙස සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සෝමසිරි ඒකනායක මහතා සියලුම සේවායෝජකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි. දායක මුදල් නියමිත වේලාවට බැර කිරීම සහ පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading