ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල කාර්යාල කාමරය ඉලක්ක කර ගනිමින් කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ඊයේ (21) උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී සංස්ථාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර මහතා අදාළ කාමරය තුළ සිට නොමැති බව වාර්තා වේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඔහු මෙම ධූරය සඳහා පත් කර තිබුණි.
ගුවන්විදුලි සංස්ථා සේවකයන් පවසන පරිදි, මෙම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ආයතනය තුළ දැඩි සේවක මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ. ඔහුගේ මෙම මර්දනකාරී ක්‍රියාකලාපයට එරෙහිව සංස්ථා සේවකයන් විසින් මීට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සහ කම්කරු කාර්යාලය වෙත ද පැමිණිලි ඉදිරිපත් කර ඇති බව සේවක පාර්ශවයන් සඳහන් කරයි.
මෙම කුණු බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත නිල පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ ඔස්සේ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ. කෙසේ වෙතත්, ප්‍රහාරයට නිශ්චිත හේතුව හෝ එය එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
