අමාත්‍යාංශ 04 ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කරයි

ජිමුත් ඉඳුසර රත්නායක

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන් ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 04 සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් ව යාම හේතුවෙන් මෙම පත් කිරීම් සිදු කර ඇති අතර මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද සහභාගි වනු ලබනවා.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාත්, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාත්, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාත් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා යි.

Author

Related Posts